Home » බ්‍රිතාන්‍යයේ සිට මෙරට ත්‍රස්තවාදීන්ට මුදල් සැපයූ ෂංකර් ගුවන්තොටේදී දැලේ

බ්‍රිතාන්‍යයේ සිට මෙරට ත්‍රස්තවාදීන්ට මුදල් සැපයූ ෂංකර් ගුවන්තොටේදී දැලේ

by sachintha
December 2, 2024 12:36 am 0 comment

ශ්‍රී ලංකාවෙන් පලා ගොස්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර,

කොළඹ සහ වන්නි දිස්ත්‍රික්ක තුළ එම මුදල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයකු, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අනුව පෙරේදා (30) දින ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබේ. ෂංකර් විජේසුන්දරම් නමැති 43 හැවිරිදි මොහු කිළිනොච්චිය, උරච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඉකුත් 2009 වසරේදී ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යය වෙත පලා ගොස්, එරට පුරවැසිභාවය ලබා ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේදී ඔහු මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර, එම මුදල් කොළඹ සහ වන්නි දිස්ත්‍රික්ක තුළ, ක්‍රියාත්මක වෙමින් තිබූ එම සංවිධානයේ සාමාජිකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳ පැමිණිලි කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ අතර, එම කොට්ඨාසයේ නිලධාරීන් 2012.05.31 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ.

මේ බව නොදත් මෙකී පුද්ගලයා පෙරේදා (30) දින උදෑසන 10.32ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

එහි දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුව අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT