Tuesday, May 6, 2025
Home » නොවේ වෙනස්. මේ අපමය

නොවේ වෙනස්. මේ අපමය

by sachintha
December 3, 2024 1:31 am 0 comment

ශිෂ්‍යයන්ගේ ආධාර ඇතිව විශ්වවිද්‍යාල දේශන ශාලාව සඳහා පැමිණෙන මහාචාර්ය ඩී. පී. එම්.වීරක්කොඩි ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රාලයීය උගතුන්ගේ ලේඛනයේ කැපී පෙනෙන චරිතයකි. හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයා විය. ඔහුගේ දැනුමේ පරාසය මැනගත හැකි විසල් කෘති ගණනාවකි. ලොව ප්‍රමුඛ පොත් පනහ අතරට එක්වී ඇති ප්ලේටෝගේ රිපබ්ලිකා ග්‍රන්ථය ඔහු සිංහලයට පරිවර්තනය කළේය. ෆීඩෝ නමින් ප්ලේටෝ ලියූ සංවාද ආකාර ග්‍රන්ථය වූ කලී, සොක්‍රටීස්ගේ ජීවිතයෙහි අවසාන මොහොත විස්තර කිරීමකි. හෙම්ලොක් විෂ බඳුන පානයට මොහොතකට පෙර හා පසුව, සොක්‍රටීස්ගේ සිය සිහිය නැති වී ගිය මොහොත දක්වා සිදු කළ කතාව ඇසුරින් මේ අනගි ග්‍රන්ථය රචනා වී තිබේ. මහාචාර්ය වීරක්කොඩි එය ද සිංහලයට පෙරළුවේය. මේ සියල්ල ඔහු සිදු කළේ මුල් ග්‍රීක පොතෙනි. ඔහුගේ සම්භාව්‍ය භාෂා ඥානයේ දිග, පළල එපමණය.

අප මවිත විය යුත්තේ ඒ පිළිබඳව නොවේ. මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි පූර්ණ අන්ධභාවයෙන් යුතුව මේ සියල්ල කිරීම පිළිබඳවය. පූර්ණ අන්ධභාවයක් සහිතව ආචාර්ය උපාධියක් ලබාගත් මේ පොළොවේ පළමු තැනැත්තා වන්නේ ඔහුය. පොදු ජන අවධානය සඳහා එතරම් ලක් නොවුණ ද ශාස්ත්‍රීය ලෝකයේ හෙතෙම විසල් මිනිසෙක් විය. සැමදා ඔහුගේ දෑස පියවී තිබුණේ හෙයින්, මරණය සඳහා ඔහු වෙත දෑස පියා ගත්තේය යන යෙදුම භාවිතය සදොස් විය හැකිය. 2013 ජූනි 26 වැනිදා ඔහු වෙනත් ආලෝකයක් සොයා ගියේ යැයි ඔහුගේ අවසානය විස්තර කිරීම වඩා යෝග්‍ය වන්නේය.

වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. ආබාධ සහිත යන වචනය එම ප්‍රජාව කෙරෙහි අසාමාන්‍ය ගතිකයක් ජනනය කරන්නේ බැවින් දැන් ඒ සඳහා භාවිත කරනුයේ වෙනස් හැකියාවන් සහිත යන ලේබලයය. ලේබලය වෙනස් වූවාට ආකල්ප වෙනස් වී නොමැත්තේ හෙයින් ඔවුහු මේ සමාජයේ සදාකාලික ආබාධිතයෝ වන්නාහ.

අද මෙම තීරුව ලියැවෙන්නේ ඒ මිනිසුන්, මෙම ආබාධයෙන් ගලවා ගැනීම සඳහා වූ පෙරවදනක් ලෙසය.

“තිරසර අනාගතයක් සඳහා වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්ගේ නායකත්වය පුළුල් කිරීම” යන්න මෙවර වෙනස් හැකියාවන් සහිත දිනයේ ලෝක තේමාවය. ශ්‍රී ලංකාව මෙම මාතෘකාව සඳහා විශිෂ්ට පියවරක් ගනු ලැබුවේ, 2024 මහමැතිවරණයේදී, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලේඛනයට දෘශ්‍යාබාධිත සුගත් වසන්ත ද සිල්වාගේ නම ඇතුළත් කරමිනි. සුගත්, සිය ආබාධය මධ්‍යයේ වුවද ජීවිතය අත් නොහළ මිනිසෙකි. වෙනත් පාර්ශ්වයක් මේ ඉරණමට මුහුණ දුන්නේ නම් ගෙවල් ගානේ පාපිසි ආදිය විකුණන, ජීවිතයක් බවට පත්වන්නේය. නැතහොත් පාරක් අයිනේ ඇති ලයිට් කණුවකට බර දී ලොතරැයි අලෙවි කරනවා ඇත. මේ රටේ දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඇත්තේ එතැනය. මේ හොඳ තත්ත්වයය. ඊළඟ මට්ටම සිඟමන් යැදීමය.

උසස් පෙළ සමත් වූ සුගත්, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළුවී, පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව සිය උපාධිය සම්පූර්ණ කළ ද ඔහුට සරසවියේ ආචාර්ය පදවියක් සඳහා අවස්ථාව හිමි නොවීය. එසේ වුවද සිය වර්ගයා වෙනුවෙන් ඔහු අනවරතව සටන් කළේය. අද හෙතෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. වෙනස් ආකාරයකට සිතන මිනිසුන් සිය ජාතික ලැයිස්තුවට මතු නොව පාර්ලිමේන්තුවට ද ඔහු නම් කළේය. ‘වෙනස් හැකියාවන් සහිත වූවන්ගේ නායකත්වය’ අද ලෝක මාතෘකාව වන විට, ඒ සඳහා අප ද හරිහරියට සම්මාදම් වූ බව කිවහැක්කේ මේ නිසාය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ දහසයකට අධික ප්‍රමාණයක් වෙනස් හැකියාවන් සහිත වූවෝ වෙත්. එය ප්‍රතිශතයක් ලෙස 8%කි. ආබාධ රහිත ලෙස නම් කරගෙන සිටින අප විසින් මෙම වෙනස් හැකියාවන් සහිතවූවන් සඳහා දක්වා ඇති සෙනෙහසේ පරිමාණය, කහ ඉරෙන් පාර මාරු කරවීම, අනුකම්පාවෙන් යුක්තව මාරු කාසි කිහිපයක් ටින් බෙලෙක්කයට දැමීම යන්න සඳහා ලඝුව ඇත්තේය.

අධ්‍යාපනය යනු මෙම වෙනස් හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි ඉහළම ස්ථානයය. 1926 වසරේ ආරම්භ කර ඇති රත්මලානේ අඳ ගොළු බිහිරි විද්‍යාලය හැරුණු කල එවන් මිනිසුන් වෙනුවෙන් ‘කොන් කරන කොදෙව්’ මිස, අප අතර සිට ඉගෙන කියා ගන්නා වැඩපිළිවෙළක් තවම ස්ථිරසාර ලෙසම නැත්තේය. එහෙව් දූ පුතුන් සඳහා සමස්ත පාසල් පද්ධතියේම පන්ති කාමර විවර කළ යුත්තේය. බ්‍රේල් වැනි අධ්‍යාපන මාධ්‍ය සඳහා පුහුණු ගුරුවරුන් ඇති කිරීම වසර තුනක පමණ කෙටිකාලීන කර්තව්‍යයකි. විශේෂිත ගෙවීමක් සහිත වන්නේ නම් එවන් පිරිසක් පහසුවෙන් පුහුණු කරගත හැකිය. ශ්‍රම වෙළෙඳපොළ සහභාගීත්වය ශක්තිමත් කිරීම, මේ වර්ගයා සඳහා වූ තවත් දිරිගැන්වීමකි. 1988 අගෝස්තු 18 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/88 මඟින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙනස් හැකියාවන් සහිත තැනැත්තන් සඳහා රැකියා අවස්ථාවලින් 3%ක් වෙන් කරන ලෙස උපදෙස් දී තිබේ. ඒවා කොළයේ ගුළිවී ඇතිවා මිස, පසු විපරම් ඔස්සේ ක්‍රියාවට නැඟී නැත. වෘත්තීය පුහුණුව සඳහා ද ඉහළ අවස්ථා නිර්මාණය කර මෙම පිරිස වෙත දේශය වෙනුවෙන්, සිය දායකත්වය ඵලදායී ලෙස ලබාදීමේ අවස්ථාව අප නිර්මාණය කර දිය යුතුය.

වෙනස් හැකියාව යනු දුෂ්කර වතක් බවට පත් කර ඇත්තේ සමාජයය. එය වෙනස් මිස දුෂ්කර නොවන ආස්ථානයක් කරා ගෙන යා හැක්කේ ද සමාජයටය. පළමුව අප ඔවුන් පිළිබඳව මෙතුවක් නිර්මාණය කරගත් චිත්‍රයේ සියලු හැඩතල මකා දැමිය යුතුය.

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විසින් සිංහලයට නඟන ලද ප්ලේටෝගේ ජනරජය පොතේ “එහෙත් ඔබ දන්නවා ඇති පාලන ක්‍රම ගස්, ගල් ආදිය සේ ඉබේ ඇති නොවන බව. ඒවා ගොඩනැඟෙන්නේ අදාළ පුරවරයන් තුළ වෙසෙන මිනිසුන්ගේ ස්වභාවය අනුවයි” ලෙස සටහන් ව ඇත්තේය. ඔවුන් පිළිබඳව අපගේ ස්වභාවය, නව්‍යතාවට ලක් කරගත් කල්හි ඔවුනගේ ලෝකය පමණක් නොව අපගේ ලෝකය ද වඩාත් සුන්දර වූ වෙනස් මානයක් කරා ඇදී යනවා ඇත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT