Home » ශක්තිමත් නායකත්වයක් යටතේ ශ්‍රී ලංකාව නව යුගයකට ප්‍රවිශ්ට වෙමින් තිබෙනවා

ශක්තිමත් නායකත්වයක් යටතේ ශ්‍රී ලංකාව නව යුගයකට ප්‍රවිශ්ට වෙමින් තිබෙනවා

-ශ්‍රී ලංකාවේ චීන තානාපති

by sachintha
December 3, 2024 1:50 am 0 comment

ශක්තිමක් නායකත්වයක් යටතේ ශ්‍රී ලංකාව නව යුගයකට ප්‍රවිශ්ට වෙමින් තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ බව පැවැසුවේ මහනුවර පලීපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවැති උත්සවයකදීය.

චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 10කට උපකරණ දීම ද මෙහිදී සිදු කෙරිණි.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙලෙස ද කීවේය.

“තාවකාලික පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනින් නැඟී සිටීමට හැකියාව පවතිනවා. ඒ සඳහා චීන රජය හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දෙනවා.

2016දී ආරම්භ කළ මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ පාසල් 20ක අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් දී තිබෙනවා. ඉදිරියේදී තවත් පාසල් මේ වැඩසටහනට ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරනවා. ලෝකය වෙනස් කරන්නේ අධ්‍යාපනය. ඒ නිසා අප සියලු දෙනා අධ්‍යාපනය නඟාසිටුවීමට කටයුතු කිරීම වැදගත්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නඟාසිටුවීමට චීනය දශක ගණනාවක් පුරා සහාය දෙමින් සිටිනවා.

කොවිඩ් වසංගත සමයේ චීනය සහල් මෙට්‍රික් ටොන් 10,000ක් පරිත්‍යාගයක් කළා. 2025 අධ්‍යාපන වර්ෂය වෙනුවෙන් පාසල් සිසුන්ට නිල ඇඳුම් දීමට චීන රජය රුපියල් බිලියන 5.2ක් වැය කරනවා. එම නිල ඇඳුම් තොග මේ වසර අවසාන වීමට පෙර ශ්‍රී ලංකාවට ලැබෙනවා. මෙයට අමතරව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් චීන රජය පමණක් නොව චීන බෞද්ධ සංගමය පවා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු පරිත්‍යාග රැසක් සිදු කර තිබෙනවා. ඉදිරියටත් එය ඒ ආකාරයෙන්ම සිදු කෙරෙනවා.”

පලීපාන චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘ, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොඩගම මංගල නාහිමියන් අදහස් දක්වමින් පැවැසුවේ චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා කළ රටක් බවත්, රට අසීරුතාවට පත්වූ සෑම අවස්ථාවකම ඔවුන් අපට සහාය දැක්වීමට ඉදිරිපත් වූ බවත්ය.

මේ අවස්ථාවට චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ගොඩගම ධම්මකිත්ති නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT