Home » ගොවීන්ට දෙන වගා හානි වන්දි වැඩි කිරීමට අවධානය

ගොවීන්ට දෙන වගා හානි වන්දි වැඩි කිරීමට අවධානය

-නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

by sachintha
December 3, 2024 1:52 am 0 comment

වගා හානි වන්දි සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුවට යම් සංශෝධන එක් කර වගා හානි වූ ගොවීන්ට දෙන වන්දි මුදල් මීට වඩා වැඩි කිරීමට අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසීය.

‘දිනමිණ’ කළ විමසීමකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“වගා හානි වූ අක්කරයකට දැනට දීමට හැකි උපරිම වන්දි මුදල රුපියල් 40,000යි. මේ මුදල ප්‍රමාණවත් නොවන බවට ගොවීන් කරන ප්‍රකාශ සත්‍යයි. නමුත් දැනට පවතින වගා හානි වන්දි දීමේ නීති ප්‍රතිපාදන ක්‍රමවේදය මත දිය හැකි උපරිම වන්දි මුදල ‌මෙය වෙනවා. රුපියල් 40,000ක උපරිම වගා හානි වන්දි මුදල ගත්තේත් මමත් එක්ව කළ සටනකින් පසුවයි.

වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයාබෝංචි, මිරිස් සහ ලොකු ලූනු භෝග 06ක් සඳහා වගා හානි වන්දි දීමට ක්‍රමවේදයක් සහ නීතිමය ප්‍රතිපාදන දැනට පවතිනවා. ඒ යටතේ පූර්ණ හානි සහ අර්ධ හානි ආදී කාණ්ඩ යටතේ මේ වගා හානි තක්සේරු කර මේ වන විට විනාශව ඇති වී වගාව සහ ඉහත නම් සඳහන්ව ඇති අනෙක් භෝග වගාවන් වේ නම් ඒ සඳහා වන්දි දීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සැලසුම් කරනවා.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් පසුව වගා හානි පිළිබඳ දත්ත රැස්කර, එම වන්දි ගෙවීම්වලට අදාළ තක්සේරු කිරීම් සිදු කරනවා. එහිදී හැකි උපරිම වන්දි මුදලක් ගොවියාට දීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. වගා හානි වන්දි දෙන භෝගවලට ඇතුළත් නොවන එහෙත් පැවති අයහපත් කාලගුණය නිසා විනාශවී ඇති වෙනත් භෝග වගා ගොවීන්ට දිය හැකි සහනය පිළිබඳවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව මෙවැනි වගාවන් සහිත බිම්වලට සිදු වූ හානි පිළිබඳවත් තොරතුරු රැස් කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සිදු කරනවා. ජනාධිපතිවරයා සමඟත්, මුදල් අමාත්‍යාංශය සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත්, කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමටත් බලාපොරෙත්තු වෙනවා.”

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT