Tuesday, May 13, 2025
Home » බෝපේ රාජසිංහ ජාතික පාසලේදී නව නිපැයුම් හා විද්‍යා ප්‍රදර්ශනයක්

බෝපේ රාජසිංහ ජාතික පාසලේදී නව නිපැයුම් හා විද්‍යා ප්‍රදර්ශනයක්

by sachintha
December 3, 2024 1:52 am 0 comment

හෝමාගම අධ්‍යාපන කලාපයේ බෝපේ රාජසිංහ ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් විසින් විද්‍යාව, තාක්ෂණය සහ ගණිතය යන විෂයන් සියල්ලම ආවරණය වන ආකාරයට තම නිර්මාණ කුසලතා එළි දැක්වීමේ නව නිපැයුම් හා විද්‍යා ප්‍රදර්ශනයක් දින දෙකක් පුරා විදුහලේදී පවත්වන ලදි. වසර 17කට පසුව විද්‍යාලයේ කළමනාකරණ කමිටුවේ සහ විධායක කමිටුවේ එකඟතාවය මත ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් එක්ව 6 සිට 13 දක්වා සෑම ශ්‍රේණියකම දරුවන් තනි තනිව හා කණ්ඩායම් වශයෙන් විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන අංශ නියෝජනය කරමින් හා රොබෝ තාක්ෂණය සහ ගුවන් යානා තාක්ෂණය යන ක්ෂේත්‍ර යටතේ නිර්මාණ විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබුණි. මෙම විද්‍යා ප්‍රදර්ශනයේ අරමුණ පැහැදිලි කළ විදුහල්පති ජේ.සී. කුමාර මහතා මෙසේ කීවේය.

Òඅධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා Stem සංකල්පය යටතේ විද්‍යාව, ගණිතය, තාක්ෂණය, වාණිජ යන විෂයන් මුල් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. එම ඉලක්ක කරා යෑමට දරුවන්ගේ ආකල්ප, හැකියාවන්, අදහස්, කැමැත්ත, විද්‍යා තාක්ෂණය කෙරෙහි යොමු කළ යුතු වෙනවා. එහිදී ඇතිවන අභියෝගයක් වනුයේ දරුවන් තවමත් ඒ සඳහා සූදානම් මානසිකත්වයකින් නොසිටීමයි. දරුවන් එම මානසිකත්වයෙන් මුදාගෙන එම ක්ෂේත්‍රය පිළිබඳ කැමැත්තක් සහ ඇල්මක් ඇති කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.Ó

බෝපේ රාජසිංහ ජාතික පාසලේ විද්‍යා සංගමය විසින් මෙම නව නිපැයුම් හා විද්‍යා ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබ තිබුණි. එම අවස්ථාවට විදුහලේ ධර්මාචාර්යවරුන් වන කළුගහකඳුරේ ගුණානන්ද හිමි සහ නීලබැද්දේ උපනන්ද හිමි ද වැඩම කර සිටි අතර හෝමාගම අධ්‍යාපන කලාපයේ විද්‍යා අධ්‍යක්ෂ අජිත් ප්‍රේමසිරි, අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂ ඉනෝකා රූපසිංහ, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න, හංවැල්ල ගුරු මධ්‍යස්ථානාධිපති නිලක්ෂි යටවක, විදුහල්පති ජේ.සී. කුමාර, බෝපේ රාජසිංහ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති හසන්ත සංජීව යන මහත්ම මහත්මීන් ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, ආරාධිත අමුත්තන් ද, හිටපු විදුහල්පතිවරුන් හා ආචාර්යවරුන් ද, විදුහලේ ආචාර්යවරුන් ද, පාසලේ සිසු දරු දැරියන් ද, අවට පාසල්වල සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ මව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT