Thursday, May 15, 2025
Home » මහවිරු සැමරුම් සිද්ධියට බන්ධනාගාර ගත කළ කැලුම් ජයසුමනට ඇප

මහවිරු සැමරුම් සිද්ධියට බන්ධනාගාර ගත කළ කැලුම් ජයසුමනට ඇප

by yasara
December 4, 2024 10:59 am 0 comment

උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04)  නියම කර ඇත.

මෙම  පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ ඇප නියම කර තිබෙයි

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රංශයේ සිටින කාන්තාවක් විසින් මුහුණුපොතේ පළ කළ කොටි සංවිධානයේ තහනම් කරන ලද සංකේත ඇතුළත් ඡායාරූපයක් මෙම සැකකරු විසින් භාගත කොට එය යළි පළ කර ඇතැයි පැවසුවේය.

මේ තුළින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වී ඇතැයි සඳහන් කළ එම නිලධාරින් උතුරේ මෙවැනි උත්සවයක් පවත්වා නොමැති බවත් සඳහන් කළේය.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටියේය.

මහජන කැලඹීමක් සිදුවූ බව තහවුරු කෙරෙන සාක්ෂි නොමැතිව මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා තමන්ට සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවත් පැවසුවේය.

ඒ අනුව සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT