Home » අප පිළියම් යොදන්නේ සම්පත් බෙදීයෑමේ අසමානතාවටයි

අප පිළියම් යොදන්නේ සම්පත් බෙදීයෑමේ අසමානතාවටයි

-ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති, මහාචාර්ය උපාලි පන්නිල

by sachintha
December 4, 2024 3:48 am 0 comment

ග්‍රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේදී හඳුනාගෙන ඇති ගැටලු සහ ඒවා විසඳීමට සැලසුම් කර ඇති ආකාරයත්, අඩු ආදායම්ලාභීන් නඟාසිටුවීමට සහනාධාරවලින් ඔබ්බට ගොස් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති, මහාචාර්ය උපාලි පන්නිල මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් හඳුනාගත් ගැටලු පිළිබඳව මුලින්ම පැහැදිලි කළොත්?

අපේ රටේ ග්‍රාමීය සංවර්ධනය කියූ විට විශේෂයෙන්ම දිළිඳුකම පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. එහිදී ග්‍රාමීය දිළිඳුබව තමයි ප්‍රධානම වෙන්නෙ. ග්‍රාමීය දිළිඳුබව ප්‍රශ්න ගණනාවක් ඔස්සේ විහිදී යනවා. එහිදී ආර්ථික වශයෙන් තිබෙන දිළිඳුකම එකක්. ග්‍රාමීය ප්‍රදේශවල බහුතරයක් ජනතාව අද ජීවත්වන්නේ කෘෂිකර්මය පදනම් කරගෙන. එලෙස කෘෂිකර්මයේ යෙදෙන ඔවුන්ට ප්‍රශ්න රැසකට මුහුණපෑමට සිදු වෙනවා. එයින් සමහරක් ප්‍රශ්න ඔවුන්ටම විසඳාගත හැකි වුවත් තවත් සමහර ප්‍රශ්න ඔවුන්ට තනිව විසඳා ගැනීමට හැකියාවක් නෑ. ඒ වෙනුවෙන් ඔවුන්ට තවත් කෙනකුගේ හෝ කණ්ඩායමක හෝ පවතින රජයෙන් හෝ ආයතනයක හෝ සහාය අවශ්‍යයි.

ඊට අමතරව තවත් පිරිසක් විධිමත් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වෙනවා. ඒ කියන්නේ නිසි ලෙස අධ්‍යාපනය සහ නිවැරදි පුහුණුවකින් පසුව වැටුපක් ලබන රැකියාවක නිරත වීමයි. තවත් පිරිසක් රැකියා විරහිතව ඉන්නවා. මෙලෙස රැකියා විරහිතව ඉන්න පිරිස තවත් කෙනකු මත යැපෙමින් තමා ඉන්නේ. එවගේම රැකියා විරහිතව සිටීමට හේතු ගණනාවක් බලපානවා. මෙය අපේ රටේ දිළිඳුබවේ ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට තමයි, අපි ග්‍රාම සංවර්ධනය අපේ අමාත්‍යාංශයත් සමඟ ඒකාබද්ධ කළේ. නමුත් ග්‍රාම සංවර්ධනය සඳහා ජාතික මට්ටමේ අමාත්‍යාංශයක් මෑත කාලයේ තිබුණේ නෑ. ඒත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් තමයි ග්‍රාම සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ.

සමාජයීය වශයෙන් දක්නට ලැබෙන දිළිඳුකම විග්‍රහ කළ හැකි ආකාරය කවරේද?

ආර්ථික වශයෙන් දිළිඳුකම හැරුණාම සමාජයීය වශයෙනුත් දිළිඳුකම තිබෙනවා. මොකද අපේ රටේ පවතින සම්පත් බෙදීයෑමේ අසමානතාව පවතිනවා. මේ අසමානතාව ග්‍රාමීය ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයේදී මේ අසමානතාව නිසා ගැටලු රැසක් මතු වෙනවා. ඒ කියන්නේ පාරවල්, බෝක්කු, ඇළවේලි වැනි යටිතල පහසුකම් දැඩි ලෙස අබලන්ව පැවතීම සහ ඒවා නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොවීම සමාජයීය වශයෙන් දැඩි බලපෑම් ඇති කරනවා. ඊට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා තිබෙන පාසල්වල පවතින අධ්‍යාපනයේ විෂමතාව බොහෝ වෙලාවට සමාජ සංචලතාවට බලපානවා. ඒ වගේම නගරයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට තිබෙන පහසුකම් ග්‍රාමීය පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට නෑ. නගරයේ පාසල්වල දරුවන්ට අධ්‍යාපනයට අමතරව බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් පවතින අසීමිත සම්පත් ග්‍රාමීය පාසල්වල දරුවන්ට ඇත්තේම නැති අවස්ථා අපි දැක තිබෙනවා. උදාහරණයක් ලෙස නගරයේ පාසල්වල දරුවන්ට සියලු ක්‍රීඩා ඉසව් සඳහා පහසුකම් පාසල තුළ තිබුණත් ග්‍රාමීය පාසල්වල දරුවන්ට ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ක්‍රීඩා පිටියක්වත් නැති අවස්ථා අපි දැක තිබෙනවා. ඒ වෙනුවෙන් එම දරුවන් භාවිත කරන්නේ පාසල අවට ඇති භූමි භාගයක්. ඒ පිළිබඳවත් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.

ග්‍රාමීය සංවර්ධනයේදී හඳුනාගත් ගැටලු විසඳීමට සැලසුම්සහගත වැඩපිළිවෙළක් තිබේද?

අපේ අමාත්‍යාංශය ග්‍රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලසතුකරණය පිළිබඳ අමාත්‍යාංශය. දැනට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ විශේෂයෙන් සමාජයේ කවුරුත් දන්න සමෘද්ධි වැඩසටහන තියෙනවා. මේ සමෘද්ධි සහනාධාරය ලැබෙන්නේ සැබෑ ලෙසම එය ලැබිය යුතු පිරිසට ද යන්න සොයා බැලීම වැදගත්. හේතුව මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වීමයි. ඊට අමතරව සමාජ ආරක්ෂණය යටතේ වැඩිහිටියන් සහ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් තව වැඩසටහන් ගණනාවක් තිබෙනවා. මෙහිදී ග්‍රාම සංවර්ධනය පිළිබඳව මූලිකව අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ අය -වැය ලේඛනය එනකොට අපේ රටේ සියලුම ගම් නඟාසිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. අපේ අරමුණ තමයි, 14,200ක් පවතින ග්‍රාමසේවා කොට්ඨාස ආවරණය වන පරිදි ග්‍රාම සංවර්ධන සැලසුම් හදන්න. තම ග්‍රාමසේවා කොට්ඨාසයට අවශ්‍ය සංවර්ධන වැඩකටයුතු දන්නේ ඒ ප්‍රදේශවල ජීවත් වන ජනතාව. ඒ නිසා ඒ ඒ ප්‍රදේශවල ජීවත්වන ග්‍රාමීය ජනතාවත් මේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජනතාවගේ සක්‍රිය දායකත්වයත් එක්ක සියලුම ගම් සෑම අංශයකින්ම සංවර්ධනය කිරීමේ සැලසුම් සකස් කරනවා. එලෙස සැලසුම් සකස් කිරීමෙන් ගමේ පොදු අවශ්‍යතාත් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතුළින් සියලු දෙනාගේ අවශ්‍යතා ඉටු වන පරිදි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. ඊට අමතරව එක් එක් පවුල්වල තියෙන සුවිශේෂී ගැටලුත් හඳුනා ගන්නවා. එලෙස හඳුනා ගන්නා ගැටලුවලට විසඳුම් දීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනවා. පසුව ඒ මත පදනම්ව රජයේ දායකත්වයෙන්, රාජ්‍ය නොවන සංවිධානවල සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

මෙය තනිව හුදෙකලාව සිදු කරන වැඩපිළිවෙළක් නෙමෙයි. සාමූහික ක්‍රියාදාමයක් තුළ මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් ගැටලු අවම කරගැනීමේ හැකියාව ලැබෙනවා. එවගේම ගැටලු හඳුනා ගැනීම ද පහසු වෙනවා. උදාහරණයක් විදිහට ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් හැදුවාට පසුව ඒ ප්‍රදේශයට අවශ්‍ය වෙන්නේ යම් කර්මාන්තයක් නම් එතැනදී අපි කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙනවා. එවිට එම අවශ්‍යතාවට නිසි විසඳුම් ලැබීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව කෘෂිකර්මය නඟාසිටුවීමට නම් කෘෂිකර්ම වගේම වාරිමාර්ග අමාත්‍යාංශයත් සමඟත් ඒකාබද්ධව කටයුතු කරන්න දැනට අපි මූලික වශයෙන් සංකල්පගත කරලා තියෙනවා. කෘෂිකර්මය සමඟ වාරිමාර්ග ඒකාබද්ධ වීම කෘෂිකර්මය නඟාසිටුවීමට ඇති හොඳම විකල්පයක්.

අඩු ආදායම්ලාභී පවුල් නඟාසිටුවීම වෙනුවෙන් මෙතෙක් පැවැති රජයන් කළ සහනාධාර ලබාදීමේ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ඔවුන් තුළ විධිමත් සංවර්ධනයක් සිදු නොවී යැපුම් මානසිකත්වයක් පමණක් නිර්මාණය වීම දක්නට ලැබෙනවා. මේ පිළිබඳව ඔබ තුළ පවතින අදහස කුමක්ද?

ඒක හරි. ඕක න්‍යායාත්මකව ගත්තත් ප්‍රායෝගිකව ගත්තත් ඇත්ත. න්‍යායාත්මකව ගත්තොත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ රටවල් විශේෂයෙන්ම අපි වගේ රටවල් නිදහස ලබා ගත්තාට පසුව මේ රටවල් ගොඩනැඟීම සඳහා ඉදිරිපත් කළ සංවර්ධන ප්‍රවේශයක් ලෙස සුබසාධන ප්‍රවේශය හැඳන්විය හැකියි. ඒ නිසා තමයි ආහාර මුද්දරය වගේ ඒවා ආවේ. ඊට පසුව මෑත කාලයේ ජනසවිය සහ සමෘද්ධිය වගේ ආධාර දීමේ වැඩසටහන් පැවතුණා.

නමුත් ලෝකයම කෙටි කාලයක් යනකොට තේරුම් ගත්තා, ආධාර මත යැපීමෙන් සමාජයක්, රටක් දියුණු කරන්න බෑ කියලා. ආධාර ලබාදීම තුළින් සිදු වන්නේ ජනතාව තුළ යැපුම් මානසිකත්වයක් නිර්මාණය වීමයි. බලයට පත්වන ඕනෑම රජයකින් ආධාර බලාපොරොත්තු වන ඔවුන් නැඟී සිටීමට උත්සාහ දරන්නේ නෑ. ඒ නිසා වෙනත් සංවර්ධන ප්‍රවේශයන් ආවා. උදාහරණයක් විදිහට බලසතුකරණ ප්‍රවේශය. දැන් අපි මේ අමාත්‍යාංශයත් ප්‍රජා බලසතුකරණ කියලා හඳුන්වා තියෙනවා. බලසතුකරණ ප්‍රවේශයකට ලෝකයම විතැන් වුණා. එතකොට අපිත් විශ්වාස කරන්නේ ආධාර මත යැපෙන සහ යැපුම් මානසිකත්වයක් තිබෙන පිරිසක් නිර්මාණය කරන්න නෙමේ. බලසතුකරණය ඒ කියන්නේ සවිබලකරණය තමයි අපිත් රජයක් විදිහට මූලික වශයෙන්ම පිළිගන්නේ.

නමුත් මේ සමාජයේ ඉන්නවා, සමාජ රැකවරණය අවශ්‍යම කොටසක්. උදාහරණයක් විදිහට ගත්තොත් ආබාධ සහිත ප්‍රජාව. අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත ප්‍රජාවට ආර්ථික කටයුතුවල නිරත වෙන්න ශක්තියක් නෑ. ඔවුන්ගේ ජීවිත රැකෙන්නේ තවත් කෙනකුගෙන්. එලෙසත් කෙනකු නොමැති වූ විට එම ආබාධිත පිරිස අසරණ වෙනවා. එනිසා ආර්ථික කටයුතුවල නිරත විය නොහැකි අය රැකබලා ගැනීම අවශ්‍යයි. අතීතයේ මෙවැනි ප්‍රශ්න තිබුණේ නෑ. යමෙකුගේ ආර්ථික ශක්තිය හීන වන විට ඔහු රැකබලා ගැනීමට පවුලේ සිටි තවත් අය ඉදිරිපත් වුණා. නමුත් අතීතයේ තිබූ පවුල් ක්‍රමය අද නෑ. සමහර වැඩිහිටියන් බලාගන්න අද දරුවන්වත් නෑ. ඒ අයට රැකවරණයට කිසිවකු නෑ. ඒ අයට ආර්ථික ප්‍රභවයක් නෑ. අන්න ඒ වගේ වෙලාවට ඒ අයට යම් සමාජ රැකවරණයක් සඳහා යම් ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕනෙ. මේ පිරිස නිවැරදිව හඳුනා ගැනීම පළමුව සිදු කළ යුතුයි. ඒ වගේම යම්කිසි කාලසීමාවක් සඳහා උදාහරණයක් විදිහට ගත්තොත් අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට සහ පවුල්වලට යම් ආර්ථික උත්තේජනයක් ලබාදීම සඳහා සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. නමුත් එය දීර්ඝ කාලීන නොවන කෙටි කාලීන එකක් විය යුතුයි. ඒ අය කවර හෝ ක්‍රමයක් එක්ක සම්බන්ධ කරලා තමයි මෙය කරන්න ඕනෙ. මූලික වශයෙන් යැපුම් මානසිකත්වය ඇති කරනවා සහනාධාර ක්‍රියාවලිය තුළ. සහනාධාර ලබන පිරිස එම සහනාධාර දිගින් දිගටම බලාපොරොත්තු වීම සිදු නොවිය යුතුයි. ලැබූ සහනාධාරයෙන් උත්තේජනයක් ගෙන තමාටම කියා ආදායම් මාර්ගයක් සකසා ගැනීමට එම පිරිස යොමු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා දීමට අපි මැදිහත් විය යුතුයි. නමුත් අත්‍යවශ්‍යම පිරිස් රැකබලා ගැනීම රජයක වගකීමක් ලෙස අපි දකිනවා.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT