මස්කෙළිය නෙබර්ටන් වතුයායට යාබදව පිහිටි ගම්මානවල ජනයා 1974 දෙසැම්බර් 4 දා රාත්‍රී සුපුරුදු පරිදි නින්දට ගොස් සිටියහ. එහෙත් රාත්‍රී 10.15ට පමණ ඇසුණු බියකරු මහා ශබ්දයකින් බියට පත් ඔවුන් නිවෙස්වලින් එළියට බැස බලද්දී දැක ගත හැකි වූයේ අසල පිහිටි සප්තකන්‍යා කඳුවැටියේ එක් කන්දක් මුදුනේ පැතිර යමින් තිබූ මහා ගින්නකි. සිදුවී ඇත්තේ කුමක්දැයි දැක ගත නොහැකි වූ ඔවුන් එළිවන යාමයේ අවදියෙන් සිටියේ පසුදා පහන් වනතුරුය.
උදෑසන ඉර පායා ඒමට පෙර යන්තම් එළිය වැටීගෙන එද්දී බොහෝදෙනා ගින්නෙන් දැවී ගිය කඳුමුදුන දෙසට ලහි ලහියේ ගමන් ඇරැඹුවේ සිදුවී තිබෙන්නේ කුමක් දැයි සහසුද්දෙන්ම දැන ගැනීමේ අටියෙනි.
සප්ත කන්‍යා කඳුවැටියේ පස් වැනි කන්ද මුදුනේ ගින්න හට ගත් ස්ථානයට ළඟා වූ මෙම පිරිසට දැක ගත හැකි වූයේ ගිනිගෙන දැවෙමින් තිබූ ගුවන්යානයක සුන්බුන් සහ ගස්වල අතු අතර එල්ලෙමින් තිබූ මළ සිරුරු කැබලිය. යානයේ සිටි මගීන්ගේ බඩුබාහිරාදියද තැනින් තැන විසිරී තිබුණි.
දෙසැම්බර් 05 දා උදෑසන 6ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයෙන් කලින් දිනයේ රාත්‍රී මස්කෙළිය ප්‍රදේශයේ සිදුවී ඇති ඛේදවාචකය පිළිබඳව මුළු රටටම දැන ගන්නට ලැබුණි.
මක්කම වන්දනාවේ යන මුස්ලිම් බැතිමතුන් පිරිසක් රැගෙන ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොළෙන් දෙසැම්බර් 4 දා රාත්‍රී 7ට ගුවන්ගතවී ඇති ඩී.සී. 8 වර්ගයේ ගුවන්යානය ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කරමින් තිබියදී රාත්‍රී 10.15ට පමණ මස්කෙළිය ප්‍රදේශයේ සප්තකන්‍යා කඳුවැටියේ කන්දක ගැටී ගිනිගෙන විනාශ වූ බව එම ප්‍රවෘත්තියේ සඳහන් විය.
මගීන් 182 සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 9 දෙනාත් සමඟ එහි ගමන් ගත් මුළු සංඛ්‍යාව 191කි. මාටින් එයාර් ගුවන් සමාගමට අයත් මෙම යානය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය විසින් බද්දට ලබා ගෙන තිබූ එකකි.
ශ්‍රී ලංකාවේ පළමුවරට සිදුවූ මෙම භයානක ගුවන් අනතුරෙන් මුළු රටම මහත් කම්පාවට පත් විය. මා එවකට සේවය කළේ ඇත්ත පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු වශයෙනි. මෙම අනතුර සිදුවූ ස්ථානයට යාම සඳහා ක්‍රමයක් කල්පනා කරමින් සිටියදී අප පුවත්පතේ ඡායාරූප ශිල්පී සරණපාල පමුණුව සුබ ආරංචියක් ගෙනාවේය. පසුදා (6) එම අනතුර සිදුවූ ස්ථානයට යාම සඳහා තමාගේ මිතුරකු සූදානම් බවත් ඔහුට ජීප් රියක් තිබෙන බැවින් මට ද ඒ සඳහා යා හැකි බවත් පමුණුව පැවසීය.
ඒ අනුව පසුදා උදේ මහරගම සිට අප ගමන ආරම්භ කළ අතර සරණගේ තවත් මිතුරන් 4 දෙනෙකු ද එයට එක් වූහ. ඔවුන් අතර එවකට මහරගම සරසවි පොත්හල හිමි එච්.ඩී. ප්‍රේමසිරි ද විය. (පසුව සරසවි ප්‍රකාශන සමාගමේ සභාපති)
අනතුරට ලක් වූ ගුවන්යානය ගැටී තිබුණේ සප්තකන්‍යා (අංජිමලේ) කඳුවැටියේ පස්වෙනි කන්ද මුදුණේය. පස්වරු 2 පමණ වනවිට එම කන්ද අසලට යාමට අපට හැකි විය. මහ වර්ෂාවක් මධ්‍යයේ අප කන්ද නැඟීම ඇරැඹුවේ තේ වත්තක තේ පඳුරු අතරින් වැටී තිබූ අඩි පාරක් ඔස්සේය. අප ඉදිරියෙන් යුද හමුදා භට පිරිසක් ද කන්ද තරණය කිරීමට ගිය බැවින් අප ද ඔවුන් පසුපස ගමන් ගතිමු. වැස්ස නිසා පොළොව තෙමී ලිස්සනසුලු බැවින් අප ගමන් ගත්තේ මහත් අසීරුවෙනි. පස්වරු 4.30ට පමණ වනවිට අපට ගුවන්යානය වැටී තිබූ ස්ථානයට යා හැකි විය. මියගිය අයගේ මළ සිරුරුවල අත්පා ආදී කොටස් ගස් දෙබලවල හා අතුවල රැඳී තිබුණි. ඒවා නරක් වී තිබීම නිසා ඉවසිය නොහැකි දුගඳක් වහනය විය. ගුවන් යානයේ කැබලි තැනින් තැන විසිරී තිබුණි.
අනතුර සිදුවූ දිනට පසු දින උදෙන්ම පැමිණි ගම්වාසීන් යානයේ මගීන්ගේ වැටී තිබූ ගුවන්මලු ඇතුළු වටිනා භාණ්ඩ රැගෙන ගොස් ඇතැයි ඒ අවස්ථාවේ පරීක්ෂණ සඳහා පැමිණ සිටි නෝට්‍රන්බ්‍රිජ් පොලිසියේ නිලධාරියෙක් අප සමඟ පැවසීය. ඒ අතර තවත් සමහරු ගුවන්යානයේ වැටී තිබූ කොටස් රැගෙන ගොස් තිබුණා. එසේ ඒවා රැගෙන ගිය අය අල්ලා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ද දැන ගන්නට ලැබුණි. මේ වනවිට කඳු මුදුන අඳුරින් වැසී යමින් පැවතුණි.
ගුවන් අනතුරෙන් මියගිය අය අතරින් බිම වැටී තිබූ මළ සිරුරු පොලීසිය ගම්වාසීන්ගේද සහාය ඇතිව පහළට ගෙන ගොස් මුස්ලිම් චාරිත්‍රානුකූලව භූමදාන කළ බව ද පොලිස් නිලධාරියා පැවසීය. පස්වරු 5.30ට පමණ අප පහළට යාම සඳහා ගමන ආරම්භ කළෙමු. එහෙත් පැවති දැඩි අඳුර නිසා පාර සොයා ගැනීමට ද මහත් වෙහෙසක් ගැනීමට අපට සිදු විය. අප කන්ද නඟිද්දී ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ වෝල්ටර් ජයවර්ධන ද තවත් දෙදෙනකු සමඟ කන්ද නඟිමින් සිටියදී අපට හමු විය. එහෙත් ඔහු තරබාරු අයකු වූ බැවින් අප සමඟ වේගයෙන් පැමිණීමට ඔහුට නොහැකි විය. අප කන්දේ සිටින තුරු ඔවුන් පැමිණ සිටියේ නැත. පසු දිනෙක දැන ගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනා කන්දෙ මහ ගලක් යටට වී රැය පහන් කළ බවය.
පැය දෙකක් පමණ මහත් අසීරුවෙන් කන්දේ අමාරු හරියෙන් පහළට බැසීමට අප සමත් වූ නමුත් තේ වත්ත අසලට පැමිණි පසු පාරට යාම සඳහා පාර සොයා ගත නොහැකි විය.
ලෝක ප්‍රවෘත්තිවල ප්‍රධාන මාතෘකාවක් වී තිබූ සප්තකන්‍යා ගුවන්යානා අනතුර ගැන පරීක්ෂණ පැවැත්වීමට නෙදර්ලන්තයේ මාටින් එයා ගුවන් සමාගමේ හා ඉන්දුනීසියානු ගරුඩා ගුවන් සේවයේ විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද ඒ සඳහා එක්වී සිටියහ. මෙම විමර්ශන කණ්ඩායම්වල ප්‍රධාන අරමුණ වුණේ ගුවන්යානයේ කළු පෙට්ටිය (Black Box) සොයා ගැනීමය. ගුවන්යානය අනතුරට ලක් වූයේ එහි කාර්මිකදෝෂයක් නිසා ද නැත්නම් ගුවන් නියමුවාගේ වරදින් දැයි තීරණය කළ හැකි වන්නේ කළු පෙට්ටිය සොයා ගැනීමෙන් පමණි. යානය පියාසර කරද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පාලක මැදිරිය සමඟ හුවමාරු කරගත් පණිවුඩ හා සංවාද එහි පටිගත වන බැවින් කළු පෙට්ටිය මෙහි ප්‍රබල සාක්ෂියක් විය.
එහෙත් යුද හමුදාපති සේපාල ආටිගල මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ යුද හමුදා සෙබළුන් සියයකට අධික පිරිසක් දෙසැම්බර් 8 දා කලුපෙට්ටිය සෙවීමේ මෙහෙයුමට එක්වූහ.
සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නිගමනය වී තිබුණේ ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි පහන් පෙළ දුටු ගුවන් නියමු හෙන්ඩ්‍රික් ලෑම් එය කටුනායක ගුවන්තොටුපොළ යැයි සිතා අඩි 10000ක් පමණ උසින් ගිය යානය අඩි 2000 දක්වා පහළට ගෙනා බවත් එය ගුවන්තොටුපොළ නොවන බව හැඟී ගිය බැවින් ඔහු යානය යළි ඉහළට නංවා ඇති අතර එහිදී එය කඳු ශිඛරයක ගැටී ඇති බවත්ය.
ගුවන්යානයේ කළු පෙට්ටිය සෙවීමෙහි නිරත වූ යුද හමුදා කණ්ඩායම යානයේ පිලිස්සී ගිය කොටස් සූක්ෂ්ම ලෙස පරීක්ෂා කිරීමේදී හමු වූ තහඩුවක Flight Data Recorder යනුවෙන් සඳහන් වී තිබී ඇත. යානයේ කළු පෙට්ටිය කැබලිවලට කැඩී විනාශ වී ඇති බව ඉන් පැහැදිලි විය. ඔවුන් තවදුරටත් පරීක්ෂා කළ ද කළු පෙට්ටියේ හඬපටය හමු වූයේ නැත. ගුවන්යානා අනතුර ගැන පරීක්ෂණ සිදු කිරීමට පැමිණි සිටි නෙදර්ලන්ත කණ්ඩායමට කටුනායක ගුවන්තොටුපොළේ ගුවන්යානා පාලක මැදිරිය භාරව සිටි ප්‍රධාන ගුවන් ගමන් පාලක වී. සරවනභවන් මහතාගෙන් වැදගත් තොරතුරු ගණනාවක්ම ලබා ගැනීමට හැකි විය.
ගුවන්යානාව අනතුරට පත් වූ දිනයේ පාලක මැදිරිය භාරව කටයුතු කොට තිබුණේ සරවනභවන් මහතාය.
දෙසැම්බර් 04 දා රාත්‍රී 10.15ට මාටින් එයාර් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබුණි. ඉන්දුනීසියාවේ සිට එන සෑම ගුවන්යානයක්ම පැමිණෙන්නෙ මඩකළපුව දෙසින් රට තුළට ඇතුළු වී එකම මාර්ගයකිනි. කටුනායකට සැතපුම් 150ක පමණ දුරකදී මාටින් එයාර් යානය පාලක මැදිරිය සමඟ සම්බන්ධ වී ඇත. මෙහිදී යානයේ නියමුවා තමන් නාවික සැතපුම් 14ක් දුරින් සිටින බව පාලක මැදිරියට දන්වා ඇති අතර ඒ අනුව විනාඩි 3කින් යානය කටුනායක ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිතව තිබුණි. එහෙත් හදිසියේම ගුවන්යානය හා පාලක මැදිරිය අතර සබඳතා ඇනහිට තිබේ. ඒ ගැන සොයා බලද්දි යානය අනතුරකට පත්වී ඇති බව දැන ගන්නට ලැබුණු බව ද සරවනභවන් මහතා පරීක්ෂණ කණ්ඩායමට පවසා තිබුණි.
මාටින් එයාර් සහ ගරුඩා ගුවන් සමාගම්වලින් පැමිණ සිටි පරීක්ෂකයින් මේ ගැන තවදුරටත් විමර්ශනය කිරීමේදී හෙළි වී ඇත්තේ ගුවන්යානයේ නියමුවා හා පාලක මැදිරිය අතර සිදුවූ කතාබහ පාලක මැදිරිය වැරදියට තේරුම් ගැනීමෙන් නියමුවාට වැරදි උපදෙස් දී තිබෙන බවයි. තමා සිටින දුර ප්‍රමාණය දැන්වීමේදී නියමුවා Forty knots (නාවික සැතපුම් 40ක්) දුරින් තමා සිටින බව පැවසූ විට එය Fourteen knots (නාවික සැතපුම් 14ක්) ලෙස සිතා පාලක මැදිරිය යානය අඩි 2000 දක්වා පහතට ගෙන එන ලෙසට උපදෙස් දී තිබේ. එම උපදෙස් අනුව යානය පහළට ගෙනා නියමුවාට තමාට වැරදි උපදෙසක් ලැබී ඇති බව හැඟී යාම නිසා යානය යළි ඉහළට නංවා ඇත. ඒ අවස්ථාවේ යානයේ වම් තටුව සප්තකන්‍යා කඳුවැටියේ 5 වැනි කඳු ශිඛරයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි අන්තිමේදී පරීක්ෂණ කණ්ඩායම් නිගමනය කොට තිබුණි.
මෙම අනතුරෙන් මියගිය අයගේ සිරුරු ශ්‍රී ලංකාවේදී මිහිදන් කෙරුණු නමුත් යානයේ සිටි හෙන්රියාට බොගෝල්ස් නමැති 26 හැවිරිදි ගුවන් සේවිකාවගේ පෙම්වතා නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ අනතුර සිදුවූ ප්‍රදේශයට ගොස් ඇයගේ සිරුරේ කොටස් හඳුනාගෙන ඒවා නෙදර්ලන්තයට ගෙන ගොස් මිහිදන් කළ බව ද වාර්තා විය.
දයා ලංකාපුර