Sunday, May 11, 2025
Home » අයහපත් කාලගුණයෙන් හානි වූ නැඟෙනහිර පළාතට සහන සැලසීමට මතු හානි වැළැක්වීමට

අයහපත් කාලගුණයෙන් හානි වූ නැඟෙනහිර පළාතට සහන සැලසීමට මතු හානි වැළැක්වීමට

- ජනපති උපදෙසින් රජයේ දූත පිරිසක්

by sachintha
December 4, 2024 2:16 am 0 comment

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිම හානි වූ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ජනතාවගේ ජන ජීවිත යළි නඟාසිටුවීමත්, නැවත මෙවැනි ආපදා තත්ත්වයක් ඇති වූ විට දැඩි අලාභහානි අවම කරගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් සොයා බැලීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රජයේ නියෝජිත පිරිසක් පසුගියදා එහි නිරීක්ෂණ සංචාරයකට එක්ව සිටියහ.

මෙහිදී එම දිස්ත්‍රික්වල ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලූ අතර, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පිළියම් යෙදීමට ද පියවර ගැනිණි. එම ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාළව ඇති බව අනාවරණය වීමත් සමඟ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බලගැන්වීම් ඇමැති, මහාචාර්ය උපාලි පන්නිල සහ බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහත්වරු අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සිදු කළ මේ සාංචාරයට එක්ව සිටියහ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලික කර ගනිමින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ආරක්ෂක අංශ රජයේ ආයතන ප්‍රධානීන් (වනජීවී දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලි බල මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව) ඇතුළු සියලු දෙනා කැඳවා අයහපත් කාලගුණය නිසා සිදුවී ඇති ජීවිත හානි, දේපොළ හානි හා ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව මේ පිරිස විසින් සොයා බලන්නට විය.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්සකට අදාළව පවුල් 43,522ක පුද්ගලයන් 152,642ක් බලපෑමට ලක්ව ඇති බව ආනාවරණය විය. දිස්ත්‍රික්කයේ නිවාස 67ක් පූර්ණ වශයෙන් හානියට ලක්ව ඇති බවත්, නිවාස 528ක් අර්ධ හානියට ලක්ව තිබෙන බවත් එහිදී අනාවරණය විය. ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට හා හානි පූරණය සඳහා වන්දි දීම ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා අදාළ බලධාරීන්ව දැනුම්වත් කිරීම ද මෙහිදී ඔවුහු සිදු කළහ. එමෙන්ම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා දැඩි හානියක් සිදුවී ඇති ආකාරය ඔවුන්ගේ නිරීක්ෂණය ලක් විය. මේ අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම මහජන නියෝජිතයෝ සහභාගිවී සිටියහ.

මේ සම්බන්ධයෙන් සියලු කටයුතු සංවිධාන කරමින් මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත පියතිස්ස මහතාය.

අනතුරුව පිරිස මඩකලපුව දිස්ත්‍රික්කයේ තත්ත්වය සොයා බැලීමට පිටත්වූ අතර, පසුගිය 28 වැනි දින සවස් කාලයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ දිස්ත්‍රික් ලේකම්වරිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පවුල් 23,399පුද්ගලයන් 72,029ක් බලපෑමට ලක්ව ඇති බව වාර්තා විය. මේ දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ කිසිවක් වාර්තා නොවූ අතර, විශේෂයෙන් මේ දිස්ත්‍රික්කයට අදාළව විශාල ගොවි සහ ධීවර ජනතාව වාසය කරන බැවින් ඔවුන්ට මේ ස්වභාවික විපතෙන් ඇති වී තිබෙන ඍජු හා වක්‍ර බලපෑම් පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රාදේශීය ලේකම්වරු මෙහිදී පෙන්වා දුන්හ. ආරක්ෂක අංශ, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සැලසුම් සකස් කිරීමට මෙහිදී උපදෙස් ලබා දුන්හ. එමෙන්ම විපතට පත්ව දැනට කඳවුරුවල ජීවත් වන ජනතාවගේ සුවදුක් විමසීමට ද මේ පිරිස ක්‍ෂේත්‍ර චාරිකාවක ද නියැළුණි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පසුගිය 29 වැනිදා පිටත්වූ අතර, මඩකලපුව සිට මුතූර් හරහා ත්‍රිකුණාමලය දක්වා යන අතරතුර ගම්මාන ගොවිබිම් හා ව්‍යාපාරික ස්ථාන ගංවතුර නිසා හානියට ලක්වී තිබෙන ආකාරය නිරීක්‍ෂණය කළහ. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ආරක්ෂක අංශ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමඟ දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. එහිදී දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා මෙහෙයවීම් කටයුතු සිදු කළ අතර, මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ. එහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ට අදාළ බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 3549ක් ලෙස හඳුනාගත් අතර, පුද්ගලයන් ගණන 10,416ක් බව වාර්තා විය.

ආපදා තත්ත්වය නිසා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා ධීවර ජනතාවට තම ජන ජීවිතයට ඍජුව හා වක්‍රව ඉතා ප්‍රබල ලෙස බලපෑම් එල්ල වී ඇති බවත්, ජන ජීවිතය යථා තත්ත්වයට පත් වනතුරු ඔවුන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සහන සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි. ප්‍රදේශයේ අවතැන්වූවන් රඳවා ඇති ත්‍රිකුණාමලය පළම්පොත්තරුසිත්ති විනයාගර් විද්‍යාලය ද ඔවුහු නිරීක්ෂණයට ලක් කළහ.

ඒ අනුව මේ චාරිකාවේදී කළ නිරීක්‍ෂණයන්ට අනුව ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව යෝජනා කිහිපයක් ද මෙහිදී ඉදිරිපත් විය. මේ දිස්ත්‍රික්කවලට සෑම වර්ෂයකම නොවැම්බර් දෙසැම්බර් කාලවලදී නිරිත දිග මෝසම සක්‍රීය වන කාලය නිසා මෙවැනි ආපදා සිදුවීමට වැඩි සම්භාවිතාවක් ඇති බැවින් ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය හා සම්පූර්ණ කරගත යුතු කරුණු කිහිපයක් ගැන ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අනවසර ඉදිකිරීම් හා අසංවිධිත ඉදිකිරීම් නිසා මෙවැනි අවස්ථාවක ජනතාව දැඩි බලපෑමකට ලක්වීම ස්වභාවික බැවින් ඒවා නිසි කළමනාකරණයට ලක් කිරීමට සාකච්ඡා විය. නිසි ලෙස ජලය බැස යෑමට අවශ්‍ය පරිදි පරිසරය සකස් කිරීම, ජලය බැසයන මාර්ග හරස් කොට ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම වැනි කාරණා ගැන එහිදී අදහස් පළ කෙරිණි.

එමෙන්ම ආපදා අවස්ථාවකදී ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා විධිමත් සන්නිවේදනය ක්‍රියාවලියක අවශ්‍යතාව මතු කෙරිණි. ආපදා අවස්ථාවකදී පීඩාවට පත් ජනතාව රඳවා තබා ගැනීමට සුදුසු ආරක්ෂිත ස්ථාන ඉදි කිරීමට යෝජනා කෙරිණි.

ආපදා අවස්ථාවකදී එම අවස්ථාව කළමනාකරණය කර ගැනීම සඳහා පළාත් පාලන ආයතනවල යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම්වල වැඩි දියුණුකිරීමක් වැනි කරුණු සඳහා රජයක් වශයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතුව ඇතැයි අවධාරණය කෙරිණි. ඒ අනූව ඉදිරියේදී මෙවැනි ආපදාවකදී සිදු විය හැකි හානි අවම කර ගැනීමටත්, ජන ජීවිතවලට සිදු වන බලපෑම අවම කිරීමටත් රජයක් ලෙස ස්ථිරසාර පිළියම් අවශ්‍ය පියවර ගැනිම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT