Wednesday, May 7, 2025
Home » 2024 වසරේ දෙලක්ෂ අනූදහසක් රැකියාවලට රට ගිහින්

2024 වසරේ දෙලක්ෂ අනූදහසක් රැකියාවලට රට ගිහින්

by sachintha
December 4, 2024 2:39 am 0 comment

මෙම වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ රැකියා සඳහා පුද්ගලයන් 291‚267 දෙනකු විදේශගත වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව නොවැම්බර් මාසයේදී 22, 000ට වැඩි පිරිසක් රට රැකියාවට ගොස් තිබෙන බව පෙන්වාදෙන එම කාර්යාංශය කුසලතා සහිත ශ්‍රමිකයින් 210, 108 විදේශගත වී තිබෙන බව ද පෙන්වාදෙයි.

ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී පමණක් ශ්‍රි ලාංකිකයන් 22,685 දෙනකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇති බව කාර්යාංශය සඳහන් කරයි. එය පසුගිය 2023 වර්ෂයට සාපේක්ෂව සියයට 6.9ක ඉහළයෑමක් බව ද ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පුද්ගලයන් 274‚265 දෙනකු රැකියා සඳහා පිටත් වී ඇති බව ද කියා සිටී.

මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා විදේශගත ශ්‍රමිකයින් අතරින් 178‚914 දෙනකු ස්වයං මාර්ග ක්‍රමය යටතේ ලියාපදිංචි වී විදේශගත වී ඇති අතර 112‚853 දෙනකු විදේශ රැකියා නියෝජිත ආයතන මඟින් ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. වෘත්තීය කුසලතා රැකියා සඳහා 210,108 දෙනකු හා අඩු නිපුණතා සහිත රැකියා සඳහා 81,159 දෙනකු පිටත්ව ගොස් ඇත.

2024 විදේශගත පිරිස අතරින් පිරිමි ශ්‍රමිකයින් 172‚746ක් හා කාන්තා ශ්‍රමිකයින් 118‚521 නියෝජනය වන අතර මේ අතර, මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන බව ද එම ප්‍රමාණය 71,210ක් බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 48,083, සෞදි රාජ්‍යයට 45,008, කටාර් රාජ්‍යයට 43,104 රැකියා සඳහා විදේශගත වී තිබේ. ඊශ්‍රායෙල් රාජ්‍ය සඳහා 9,146ක්, ජපානය සඳහා 7,983ක් හා දකුණු කොරියාව සඳහා 6,925ක් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

රැකිය සඳහා විදේශගත ශ්‍රමිකයන්ට ලබාදෙන පහසුකම් වඩාත් කාර්යක්ෂම හා සාධනීය අයුරින් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රා‍ෙයල් වැනි රටවල වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කරයි.

වංචනිකයින්ට හසුනොවී නිවැරැදි මාර්ගය තෝරාගන්නා ලෙස රැකියා අපේක්ෂිතයන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටී. විදේශ රැකියාවල නිරතවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් රට විරු දූදරු ඒකකය නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT