Home » ඊ-පාස්පෝට් ටෙන්ඩරය ගැන විමර්ශන අරඹයි

ඊ-පාස්පෝට් ටෙන්ඩරය ගැන විමර්ශන අරඹයි

by sachintha
December 4, 2024 12:52 am 0 comment

 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ‘ඊ-විදේශ ගමන් බලපත්‍ර’ මිලියන 05ක් මිල දී ගැනීමට අදාළ ටෙන්ඩරය පසුගිය රජය කාලයේදී ලබා දී ඇති ආකාරය පිළිබඳ ජාතික ප්‍රසම්පාදන කමිටුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (03) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. එම විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට අදාළ ටෙන්ඩරය ලබා දීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගය අභියෝගයට ලක් කරමින් ‘එපික් ලංකා පෞද්ගලික සමාගම’ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මේ බව දන්වා සිටියේය. මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෝසමක් මඟින් එම පෙත්සම කැඳවන ලදි.

එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් කීපදෙනකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේ මෙම ඊ-විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ ජාතික ප්‍රසම්පාදන කමිටුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය. එම විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා එම කමිටුව මඟින් සතියක කාලයක් ඉල්ලා තිබෙන බව ඒ මහතා සඳහන් කළේය. එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වගඋත්තරකාර සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කණග්ඊශ්වරන් මහතා කියා සිටියේ අදාළ විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීම වළක්වාලමින් අධිකරණය මඟින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස සිය සේවාදායකයන් විසින් ඉල්ලා සිටින බවය.

එම ඉල්ලීම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඒ පිළිබඳ විභාගය ජනවාරි මස 23 වැනිදා පැවැත්වීමට ද විනිසුරු මඬුල්ල දින නියම කළේය.

එපික් ලංකා පෞද්ගලික සමාගම මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස තසෙස් සමාගම, ජස්ටි ටයිම් සමාගම, ආගමන විගමන පාලකවරයා, හිටපු මහජන ආරක්ෂක ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT