අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය ගැනීමට රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. අස්වැසුම හිමි පවුල්වල ළමයින් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට එක් ළමයකුට රුපියල් 6,000ක දීමනාවක් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය හරහා ලබාදෙනු ඇත. අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන මවුපියන් අහිමි ළමයින්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමයින්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලු ළමයින් සහ විශේෂ හේතු මත අසරණභාවයට පත් වී ඇති කාණ්ඩවලට අයත් ළමයින් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට එක් ළමයකුට රුපියල් 6,000ක දීමනාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබා දීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ආර්ථික අර්බුදයෙන් ඇති වූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් පාසල් ළමයින්ගේ අධ්‍යාපනය කෙරෙහි සැලකිය යුතු ඍණාත්මක බලපෑමක් සිදුව ඇති බවත් එය පාසල් ළමයින්ගේ 55%කගේ අධ්‍යාපනය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලැබ ඇති සමීක්ෂණයක් මඟින් අනාවරණ වී ඇති බව ඒ මහතා කියා සිටියේය.
මෙම ප්‍රතිශතය ග්‍රාමීය හා වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් ගන්නා අතර බලපෑමට ලක් වූ ළමයින් අතුරින් සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවතා ඇති බවත් සියයට 26.1ක් පෙර භාවිත කරන ලද පාසල් ලිපිද්‍රව්‍ය නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවට අනාවරණ වී ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.
එබැවින්, පාසල් ළමයින්ගේ අධ්‍යාපනය කෙරෙහි ඇති වී තිබෙන අහිතකර බලපෑම අවම කිරීමේ අරමුණින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර, පාසල් ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා පහත සඳහන් පරිදි පාසල් ළමයින් සඳහා වූ දීමනාවක් ලබා දීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඒ මහතා කීවේය. මෙම මුදල දරුවන්ගේ පොතපත සඳහාම යෙදවීම පිළිබඳ සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් කරන බව ද ඇමැතිවරයා පැවැසීය.
නුවන් කොඩිකාර