Home » සුජිත් කියා කෙනෙක් මට පහර දුන්නා

සුජිත් කියා කෙනෙක් මට පහර දුන්නා

-මන්ත්‍රී අර්චුනා රාමනාදන්

by sachintha
December 4, 2024 12:56 am 0 comment

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සුජිත් නම් තැනැත්තකු තමන්ට ඊයේ (03) පස්වරුවේ පහරදුන් බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් වන විවාදය සඳහා… තමන් හට වේලාව වෙන් කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමසීම සඳහා තමන් විපක්ෂ නායක කාර්යාලයට ඊයේ (03) පස්වරුවේ ගිය බව ද ඒ මහතා පැවැසීය. එහිදී එහි සිටි නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් තමන් විමසූ බවත් මේ පිළිබඳ විමසිය යුත්තේ සුජිත් මහතාගෙන් බව සේවකයන් පැවැසු බවත් ඒ අනුව අදාළ නිලධාරීන් තමන් වෙනත් කාමරයකට කැඳවාගෙන ගිය බවත් මන්ත්‍රීවරයා පැව­ැසීය. එහිදී සිදු කළ විමසීමේදී සුජිත් නම් තනැත්තා තමන්ට පහරදුන් බවත් පාර්ලිමේන්තුව තුළ නිදහසේ කටයුතු කළ නොහැකි නම් පාරේ ගමන් කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය මතුවන බවත් අර්චුනා රාමනාදන් මහතා පැවැසීය. එමෙන්ම අදාළ සුජිත් නම් තැනැත්තා තම පියාගේ වයසේ පසුවන අයකු බැවින් තමන් පෙරළා පහර නොදුන් බව ද රාමනාදන් මහතා පැවසීය.

මෙම අවස්ථාවේදී මුලසුන දැරූ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත පැමිණිලි කරන ලෙසයි.

එමෙන්ම මෙහිදී නැඟී සිටි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සඳහන් කළේ තමන් එවන් පහරදීමක් සිදු නොකළ බවයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, හේෂා විතානගේ වැනි අය සඳහන් කළේ අර්චුනා රාමනාදන් මහතා අසභ්‍ය වචන කියමින් අදාළ මන්ත්‍රීවරයාට බැණ වැදුණු බවයි.

ස්වර්ණා විජේකෝන්,

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT