ජනතාවට නිසි ගෞරවය දෙමින් ජනතාව බුද්ධිමත් බව පිළිගනිමින් ආණ්ඩුකරණයේ කොටස්කරුවන් බවට ජනතාව පත් කර ගනිමින් රටේ පාලනය ගෙන යෑමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) පැවසුවාය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් අගමැතිවරිය මේ බව කියා සිටියාය.
තවදුරටත් අගමැතිවරිය මෙසේද පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගත පරිදි රටේ පාලනය ගෙන යෑමට වත්මන් ආණ්ඩුව සාමූහිකව කටයුතු කරනවා.
ඓතිහාසික වරමක් ලැබූ ඓතිහාසික නියෝජනයක් ලැබූ පාර්ලිමේන්තුවක් ලෙස අද මේ සභාව අපි නියෝජනය කරනවා. සැප්තැම්බර් 21 වැනිදා රටේ ජනතාව ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය තුළින් රට තුළ මෙතෙක් කලක් නොතිබූ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපට බලය ලබා දුන්නා.
මේ පණිවුඩය අපි නිසි ලෙස අවබෝධ කරගත යුතු බවට මම යෝජනා කරනවා. කාලයක් තිස්සේ මෙරට දේශපාලන බලය පිරිහුණා. ආණ්ඩුකරණය කාලයක් තිස්සේ පිරිහීම තුළ බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය යනාදිය ඉහළ මට්ටමින් පැවතුණා. ඒ බව අපි සියලුදෙනා අත්වින්දා. බලය අනිසි ලෙස භාවිත කරන දූෂිත වූ ආණ්ඩුකරණය අනවශ්‍ය බවට ජනතාව ප්‍රකාශ කර තිබෙනවා. මෙරට ජනතාව දේශපාලන පක්ෂවලින් ඈත් වූ විදියට දේශපාලනයෙනුත් ඈත් වුණා.
තවදුරටත් දේශපාලනය තුළ විසඳුම් ලබා ගැනීමට ජනතාව කැමැත්තක් නොදක්වන බවට වූ නිගමනය අපි ගත යුතුයි. රටේ ඡන්ද දායකයා ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලනය නොවේ, ඒ දූෂිත බලය අවභාවිත කරන දේශපාලන සංස්කෘතිය. ඒ වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමටත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමටත්, ඊට මැදිහත්ව විසඳුම් සොයා ගැනීමටත් අපේ රටේ ජනතාව තුළ දේශපාලන පරිණතභාවය තිබෙන බවට ඔවුන් ඔප්පු කර තිබෙනවා. පොදුජනයා තුළ තිබෙන අවදි වීම හරහා විශාල ජනතා ජයග්‍රහණයක් ලැබූ අවස්ථාවක් මේ. ඒ බව මේ පාර්ලිමේන්තුව තුළත් පිළිඹිබු වෙනවා.
සියලු දිස්ත්‍රික් නියෝජනය කරන සියලු ආගම් නියෝජනය කරන ආණ්ඩුවක් අද පිහිටුවා තිබෙනවා. ඉතිහාසයේ පෙර කිසි අවස්ථාවකට වඩා වැඩි වූ කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා. මේ සියල්ලම සිදු වූයේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයක් නිසා නෙවෙයි, රටේ ජනතාවගේ තීරණයක් තුළ රටේ ජනතාවගේ ජයග්‍රහණයක් තුළ මෙම පරිවර්තනය දකිනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම තුළ ගැබ්ව තිබෙන්නේ මෙවැනි පරිවර්තනයක් සඳහා පත් වූ ආණ්ඩුවක් තුළ තිබිය යුතු වගකීමත් සහ ඒ වගකීම භාර ගත යුතු අන්තර්ගතයත් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබෙනවා. ඒ විශ්වාසය රැක ගැනීම අප සතුයි.
අදූෂිත දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අපට පෙනී සිටීමට සිදුව තිබෙනවා. ලැබී තිබෙන මේ වරම තුළ ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමේ පණිවුඩය ජනතාව අපට ලබා දී තිබෙනවා. අපේ ආණ්ඩුව ජාතිවාදයට කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණෙන් ජාතිවාදය ඇවිස්සීමට ඉඩ නොතබන බව අවධාරණයෙන් අපි කියා සිටිනවා.