මහර, එඬේරමුල්ල, දලුපිටිය ශරීර සුවතා මන්තීරුව අවට පිහිටි ඇළ මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ කිඹුලන් කිහිපදෙනකු ගැවසීම හේතුවෙන් එම ස්ථානයට උදෑසන හා සැන්දෑ කාලයේ ශරීර සුවතා කටයුතු සිදු කිරීම සඳහා පැමිණෙන කුඩා දරුවන් ඇතුළු ජනතාවට කිඹුලන්ගෙන් ජීවිත හානි සිදු වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජනතාව පවසති.
මෙම කිඹුලන්ගෙන් තම නිවෙස්වල සුරතලයට ඇති කරන බල්ලන්, බළලුන්, තාරාවන් සහ කුකුළන් ඇතුළු විවිධ සතුන්ගේ ජීවිතවලට ද තර්ජනයක් එල්ල වී තිබේ. මෙම ශරීර සුවතා මංතීරුව ආශ්‍රිත ඇළ මාර්ගය මුතුරාජවෙල අභය භූමියට සම්බන්ධ වන බැවින් මෙම කිඹුලන් එම ප්‍රදේශයේ සිට මෙම ප්‍රදේශයට පැමිණ ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙම කිඹුල් ගැටලුව සම්බන්ධයෙන් අදාළ අංශ දැනුම්වත් කළත් මෙතෙක් එම කිඹුලන් අල්ලා වෙනත් සුදුසු ස්ථානයක් වෙත මුදා හැරීමට එම අංශ කටයුතු කර නොමැති බවට ජනතාව මැසිවිලි නඟති. මේ හේතුවෙන් ජනතාව අදාළ අංශ වෙතින් ඉල්ලා සිටින්නේ, මහර, එඬේරමුල්ල, දලුපිටිය ශරීර සුවතා මංතීරුව ආශ්‍රිත ඇළ මාර්ගයේ සිටින කිඹුලන් අල්ලා වෙනත් සුදුසු අභය භූමියක් වෙත මුදා හරින ලෙසයි.
මහර සමූහ – ගණිදු රෝචන සමරතුංග