Home » ඇළ මං කැපීමට හා බිම මට්ටම් කිරීමට හිරිකුළුවේ ගොවියකුගෙන් නව නිපැයුමක්

ඇළ මං කැපීමට හා බිම මට්ටම් කිරීමට හිරිකුළුවේ ගොවියකුගෙන් නව නිපැයුමක්

-ඉන්ධන යොදා පස් දෙනෙකුගේ ශ්‍රමය තනි පුද්ගලයකුට කළ හැකියි

by sachintha
December 4, 2024 2:18 am 0 comment

කුඹුරු අක්කරයක් වැපිරීමේදී පුද්ගලයන් පස් දෙනෙකුගේ ශ්‍රමයෙන් සිදුකෙරෙන ඇළමං කැපීම හා ඇළමං ඇදීමෙන් බිම මට්ටම් කිරීමේ කටයුතු ඉන්ධන ලීටර් හතරකින් තනි පුද්ගලයකුට කිරීමේ හැකියාව ඇති නව උපකරණයක් නිපදවූ තරුණ කෘෂි ව්‍යවසායකයකු ඉකුත්දා දිවුලපිටිය උල්ලලපොළ වෙල්යායේදී දැකගත හැකිවිය.

මේ කෘෂි ව්‍යවසායකයා මුද්දරගම, හිරිකුළුවේ පදිංචි එච්.ඒ. අසංක පද්ම කුමාර (40) මහතාය. මෙම නව නිපැයුම පිළිබඳව හඳුන්වා දීම උල්ලලපොළ වෙල් යායේදී සිදු කෙරුණේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ දුලාංජලී චන්ද්‍රෙස්කර, සහකාර අධ්‍යක්ෂවරුන් වන නිශාන්ති ජයවික්‍රම සහ ශාන්ති රණසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි. ‍

වයස අවුරුදු 12 පටන් සිය පියා සමඟ ගොවිතැනට එක්ව ඇති අසංක වසර අටක් හමුදාවේ සේවය කර ඇත. ඔහු හමුදාවේ සේවය කරද්දී පවා ගොවිතැන් කටයුතු අත්හැර නැත. කුඩා කලදී පියාගේ බලකිරීම මත තමන් කුඹුරු වැඩ කළත් යන්ත්‍ර සූත්‍ර සමඟ කුඹුරු වැඩට මහත් ආසාවක් ඇතිවූ බව ඔහු කීය. කුඹුරු අස්සැද්දීම සඳහා මිනිස් ශ්‍රමය සපයා ගැනීමේ අපහසුවත් ඒ සඳහා විශාල වියදමක් දරන්නට සිදුවීමත් සලකා පැළ සිටුවීමේ යන්ත්‍රයක් නවීකරණය කරමින් ඔහු මේ නව නිර්මාණය කර ඇත්තේ ඉවතලන යකඩ කොටස් ආදියෙනි. දිනකට අක්කර පහක පමණ ප්‍රමාණයක් මේ යන්ත්‍රය මඟින් ඇළමං කපා පෝරු ගා අවසන් කළ හැකිය. එමෙන්ම වල් පැළ පාලනය සඳහා මෙයින් මහඟු සේවයක් වන බව ද මෙහිදී දැනගන්නට ලැබිණි.

එමෙන්ම තෙල් ගහන යන්ත්‍රයක් නවීකරණය කිරීමෙන් වී වැපිරීමේදී, වී ඉසීමේ මෙන්ම පොහොර යෙදීමේ කටයුතු පහසු කරගැනීමට ද අසංක පියවර ගෙන ඇත. ගොයම් කැපීමේදී ජපන් නිෂ්පාදන යන්ත්‍රය මඟින් වී විශාල ප්‍රමාණයක් අපතේ යාම වළක්වා ගැනීමට ද එම යන්ත්‍රය නවීකරණය කර ඇති බව ද අසංක සඳහන් කරයි.

 

කොටදෙණියාව සමූහ – එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT