ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කොට වත්තල හැඳල ප්‍රදේශයේ උම්බලකඩ ඇසුරුම් මධ්‍යස්ථානයක ගබඩා කොට අලෙවිය සඳහා බෙදාහැරීමට සූදානම් කර තිබූ, පරිභෝජනයට නුසුදුසු, ගුල්ලෝ ගසා කෘමීන්ගේ ආසාදනයට ද ලක්ව තිබූ උබ්බලකඩ කිලෝ 3,000කට අධික ප්‍රමාණයක් පෙරේදා (2) සිදුකළ වැටලීමක දී සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
රුපියල් ලක්ෂ 80කට ආසන්න වටිනාකමකින් යුත් මෙම උම්බලකඩ තොගය ඉන්දියාවෙන් ආනයනය කොට අදාළ ගබඩාවේ ගබඩා කොට සෝදා වේළා කුඩුකොට බෝතල්වලට මෙන්ම පැකට්වලට ද අසුරා දිවයිනේ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාමයක් යටතේ අලෙවිය සඳහා යොදාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වැටලීම සිදු කරන අවස්ථාවේ වත්තල හැඳල පාරේ නායකකන්ද ප්‍රදේශයේ පිහිටි මෙම ගබඩා සංකීර්ණය ඉතා අපරිසිදු මට්ටමේ පැවති බවත් මෙහිදී අත්අඩංගුවට ගත් උම්බලකඩ තොගය ගුල්ලන්ට අමතරව කුඩා කෘමීන්ගේ ආසාදනයට ද ලක්ව තිබූ බවත් වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසීය. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු බව සඳහන් සැකකාර අදාළ ගබඩාවේ හිමිකරු අනිද්දා (6) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරි කාර්යාලය සඳහන් කරයි. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මොහමඩ් එස්. හිජාස් මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන
කල්ප දිල්හාර, රෝහණ සිල්වා, රජිත අඩක්සූරිය, එම්. කුලතුංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර භාණ්ඩ සහ සැකකරු අත්අඩංගුවට ගත්හ.
ජාඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව