Home » ආසියානු ශූරයන් පරදවා ශ්‍රී ලංකා යොවුන් පිල අපරාජිතව අවසන් පූර්ව වටයට

ආසියානු ශූරයන් පරදවා ශ්‍රී ලංකා යොවුන් පිල අපරාජිතව අවසන් පූර්ව වටයට

by sachintha
December 4, 2024 2:44 am 0 comment

ආසියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පසුගිය ශූරයන් ලෙස මෙවර තරගාවලියට එක් වූ බංග්ලාදේශ යොවුන් පිල කඩුලු 7කින් පරදවා ‘බී’ කාණ්ඩයේ අපරාජිතයන් ලෙස අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

ඩුබායිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 228ක් රැස් කළ අතර, බංග්ලාදේශයට ඕවර 49.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 221ක් පමණි.

කෙසේ වෙතත් මේ තරගයට පෙරම මේ කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි අතර, ඊයේ ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය වෙනුවෙන් මේ තරගය පැවැත්විණි.

බංග්ලාදේශ ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් කලාම් සිද්දිකි අර්ධ ශතක සබඳතා දෙකක් සමඟින් ඉනිම ගොඩනඟමින් සිටියදී විහස් තෙව්මිකට දෙවැනි කඩුල්ල හිමි කර දෙමින් අවාසනාවන්ත ලෙස දැවී යන විට ශතකයට ලකුණු 5ක් පසුපසින් සිටියේය. මුළු ලකුණු 172දී ඔහු දැවී ගිය අතර, දෙබසිෂ් දෙබා ලකුණු 31ක් ඉනිමට එක් කළේය. ෆරීඩ් හසන් කණ්ඩායම ජයග්‍රහණ කරා ගෙන යෑමට උත්සාහ කළ ද ලකුණු 24ක් ලබා සිටි ඔහු අවසන් කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක් අත්කර දෙමිනි. පන්දු යැවීමේදී විහස් තෙව්මික කඩුලු 3ක් බිඳ දැමූ අතර, මතුලන් කුගදාස්, ප්‍රවීන් මනීෂ සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 15ක් තුළ බිඳ වැටුණද අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි විමත් දින්සර සෙසු පිතිකරුවන් සමඟ එක්ව ඉනිම ලකුණු 228 දක්වා ඉදිරියට ගෙන ගියේය. නායක විහස් තෙව්මික (22) සමඟ 7 වැනි කඩුල්ලට ලකුණු 50කින් ඉනිමේ හොඳම සබඳතාව ගොඩනැඟූ විමත් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 132කින් ලකුණු 106ක් රැස් කර තිබුණේ හතරේ පහර 10ක් සමඟිනි. පන්දු යැවීමේදී අල් ෆහාඩ් කඩුලු 4ක් සහ රිසාන් හොසන් කඩුලු 3ක් දවා ගත්හ.

මේ ජය සමඟ ශ්‍රී ලංකා සාජාහිදී අනිද්දා (6) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයට එක් වූ අතර, බංග්ලාදේශය පළමු තරගයට එක් විය.

මේ කණ්ඩායම් ද්විත්වයේ ප්‍රතිවාදීන් අද තීරණය වනු ඇත. මේ වන විට ‘ඒ’ කාණ්ඩයේ තරග දෙක බැගින් නිමා වී ඇති අතර, ජයග්‍රහණ දෙකක් සමඟ පාකිස්තානය පෙරමුණ ගෙන සිටී. සත්කාරක එක්සත් අරාබි එමීර් පිල දෙවැනි ස්ථානයේ සහ ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසු වන්නේ එක් තරගය බැගින් ජය ගනිමිනි.

ඒ අනුව පාකිස්තානය මේ වන විටත් අවසන් පූර්ව වටයට පිවිසි සිටින අතර, එහි අනෙක් කණ්ඩායම අද පැවැත්වෙන එමීර් – ඉන්දියා තරගයෙන් තීරණය වනු ඇත.

මේ අතර ‘බී’ කාණ්ඩයෙන් ඊයේ පැවති අනෙක් තරගයෙන් ඇෆ්ගනිස්තානය කඩුල්ලකින් පරාජය කිරීමට නේපාල කණ්ඩායම සමත් විය. ඒ සමඟ මූලික වටයේ ‘බී’ කාණ්ඩයේ තරග නිමා වූ අතර, සියලු තරග පරාජය වූ ඇෆ්ගනිස්තානය සිව්වැනි ස්ථානයටත්, ඊයේ ජය සමඟ නේපාලය තෙවැනි ස්ථානයටත් පත් විය.

ශ්‍රී ලංකා යොවුන් පිල – 228 (ඕවර 49.2) විමත් දින්සර 106, විහස් තෙව්මික 22, ලක්වින් අබේසිංහ 21, විරාන් චමුදිත 20 (අල් ෆහාඩ් 50/4, රිසාන් හොසන් 40/3)

බංග්ලාදේශ යොවුන් පිල – 221 (ඕවර 49.3) කලාම් සිද්දිකි 95, දෙබසිෂ් දෙබා 31, සවාඩ් අබ්රාර් 24 (විහස් තෙව්මික 37/3)

——

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT