දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියට අදාළව දැනට රැඳවුම් නියෝග මත සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා ලබන ජනවාරි 8 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඔහු ත්‍රස්ත මර්දන හා කොට්ඨාසයේ තංගල්ල රැඳවුම් අංශයේ රඳවා තබා ගන්නා ලෙස ඊයේ (4) නියෝග කළේය.
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කාන්තාවකට වෙඩි තබා ඝාතනයක් සිදු කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවත්වාගෙන යනු ලබන නඩු විභාගය සඳහා මෙම නඩුවේ සැකකරුවකු වන නදුන් චින්තක දීර්ඝ කාලයක් තිස්සේ මඟහැරී බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද
පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.
ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අතර සන්නිවේදනය කරන්නා වූ දුරකතන විශ්ලේෂණ වාර්තාවන් පිළිබඳව වාර්තාවක් අධිකරණයට නිකුත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.
මෙම නඩුවේ සැකකරුවකු වන නදුන් චින්තක යන සැකකරුහට කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව එහි නඩු කටයුතු අවසන් වන තෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල රැඳවුම් අංශය රඳවා තැබීමට 1982 අංක 10 පනතේ සංශෝධිත 1979 අංක 9 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 අ(1) වගන්තියට ප්‍රකාරව ආරක්ෂක අමාත්‍ය ලේකම්තුමා විසින් නියමයක් නිකුත් කර ඇති බව ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
ඒකී නියමයට අනුව පළමුවෙනි චුදිත වන නදුන් චින්තක හට කොළඹ මහාධිකරණයේ තිබෙන නඩු කටයුතු අවසන් වන තෙක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධියට අදාළ හතරවන සාක්ෂිකරු වන සරෝජනී නමැති කාන්තාව අද දින අධිකරණයේදී සාක්ෂි ලබා දෙනු ලැබුවාය.
නඩුව ලබන ජනවාරි 8 දින තෙක් කල් තැබීය.