Friday, May 9, 2025
Home » හිටපු යුද හමුදා සෙබළිය ඝාතනය කරයි
පෙම් ඇරැයුමට විරුද්ධ වූ

හිටපු යුද හමුදා සෙබළිය ඝාතනය කරයි

by mahesh
December 6, 2024 1:00 am 0 comment

කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා, කුරුවිට - කේ. ඒ. සුනිල්

ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වී 23 හැවිරිදි යුද හමුදාවේ හිටපු සෙබළියකට පොල්ලකින් පහරදී ඝාතනය කළ චූන් පාන් අලෙවියේ නිරත තරුණයකු රත්නපුර සිරිපාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

චූන් පාන් අලෙවියේ නිරතව සිටින තරුණයා මෙම ඝාතනය කර ඇත්තේ පෙරේදා (04) උදෑසන 7.30ට පමණ සිරිපාගම පොලිස් බලප්‍රදේශයේ කැටවල ගිලිමලේ වෙලේගොඩ මාර්ගයේදීය.

ඔහු ඇගේ හිසට හා සිරුරට පොල්ලකින් පහරදී තිබේ. ඇය ලේ ගලන තුවාල සහිතව සිටියදී රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.

එම්. අහිංසා සමන්මලි නම් මෙම තරුණිය රෝහල්ගත කරන විටත් මරුමුවට පත්ව සිට ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මියගිය යුවතිය වසර හතරක් යුද හමුදා සේවයේ යෙදී සිට පසුව ඉන් ඉවත්ව නිවෙසේ සිටි තැනැත්තියකි.

චූන් පාන් ත්‍රිරෝද රථයේ තරුණයකු ඇගේ ආදරය පතා කිහිපවරක් ඉල්ලීම් කර තිබුණත් ඇය ඊට අකමැත්ත පළ කර තිබූ බව එම තරුණියගේ පවුලේ අය පොලීසියට ප්‍රකාශ කර තිබේ.

තරුණියගේ පිටුපසින් පැමිණ ඇගේ හිසට පහරදීම සිදු කර ඇති අතර පහරදීමට යොදා ගත් පොල්ල පොලීසිය මඟින් සොයාගෙන ඇත. පහරදීම සිදු වූ ස්ථානයේ ලේ පැල්ලම් ද දක්නට තිබූ බව පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන ඇත.

ඝාතනයට ලක්වූ තරුණිය අල්මාරියක් මිල දී ගැනීමට රත්නපුර නගරයේ වෙළෙඳ ආයතනයකට මුදල් ගෙවා තිබී ඇති අතර එය රැගෙන ඒමට නිවෙසින් පිටත්ව යද්දී සිරිපාගම සුදාගල මාර්ගයේදී ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.

මියගිය තරුණිය ඇගේ ලොකු අම්මාගේ නිවෙසේ දින කීපයක් රැඳී සිට නිවෙසට පැමිණ තිබේ.

රත්නපුර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ උපදෙස් අනුව රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ මඟ පෙන්වීමෙන් සිරිපාගම පොලීසියේ ස්ථානාධිපති මහින්ද ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ සිදු කරති.

මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේදී ඊයේ (05) පැවැත්වීමට නියමිතව තිබිණි. මහේස්ත්‍රාත් පරීක්ෂණය ද ඊයේ පැවත්විණි.

රත්නපුර පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර (සොකෝ) ඒකකයේ ප්‍රධානි පොලිස් පරීක්ෂක මායාදුන්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT