Home » සතොසට ආපු පොල්, හාල් දෙන්නේ මෙහෙමයි

සතොසට ආපු පොල්, හාල් දෙන්නේ මෙහෙමයි

by chanaka
December 6, 2024 8:42 am 0 comment

සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ.

සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට එක් පාරිභෝගයකට පොල් ගෙඩි තුනක් හා සහල් කිලෝ පහක් බැගින් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

නාඩු සහල් රුපියල් 220ක පාලන මිලට එසේ ලබාදෙන බවත් සීමා නොකළහොත් තොග වෙළඳුන් පැමිණ එම මිලට ලබාගෙන නැවත රුපියල් 235-240 වැනි වැඩි මිලකට විකුණනු ඇති බවද හෙතෙම කියා සිටී.

සභාපතිවරයා කියා සිටියේ ‘ඔබ දන්නව දැන් අද නඩු මිල මේ තියෙන ව්‍යාපාරිකයන්ගේ තත්ත්වය මත 235-240 ඒ වගේ ගණන්වලට එළිය විකුණනවා. ඉතින් අපි සතොස මගින් ලබා දෙනකොට සමහර වෙලාවට විශේෂයෙන් තොග වෙළඳුන් මේ අය සතොසෙන් 220ට අරගෙන එළියෙ 240ට විකුණනවා. ඉතින් අපි ඒක නවත්තන්න හින්දයි අවශ්‍යම අපේ පාරිභෝගිකයන්ට පමණක් ඇවිල්ලා අරගෙන යන්න කිලෝ පහක් ලබාදෙන්නෙ ඒ පදනම මතයි.“ බවයි.

කොළඹ අවට සතොස ශාඛාවලින් ඊයේ(05) සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල අද(06) දිනයේ සිටත් මෙම ප්‍රමාණයන්ගෙන් පොල් සහ සහල් මිලදී ගත හැකි බවද හෙතෙම කියා සිටී.

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ ආනයනික සහල් වරායට ළඟා වී පැය 4 ක් තුළ නිදහස් කිරීමට කටයුතු කරන බවත් ආනයනය කළ හැකි සහල් වර්ඟයක් නම් කර තිබේ නම් එය ද පරීක්‍ෂා කරන බවයි.

ආණ්ඩුව සහල් මෙට්‍රික්ටොන් 70,000 ක් ආනයනය කිරිමට තීරණය කර ඇති බවත් එම සහල් තොගය ආනයනය කළහොත් කන්ටේනර් – 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් වරායට පැමිණිය යුතු බවත් අරුක්ගොඩ මහතා පැවසීය.

සහල් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට ළඟාවුවහොත් ඒවා පැය හතරක් තුළ නිදහස් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව කී අරුක්ගොඩ මහතා ඒ සඳහා ආහාර පරික්‍ෂකවරුන්ගේ සහයෝගය ගන්නා බව ද සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT