සභානායක බිමල් රත්නායක පෙරේදා සන්ධ්‍යාවේ පාර්ලිමේන්තුවේදී හෙළි කළ ලේඛනය වනාහි, මේ රටේ පාදඩ පන්ති පාලනයේ ඡායා පිටපත හා සම වන්නේය. ඡන්දය යනු තනිකරම ජනතා කැමැත්ත සඳහා ලබාදෙන අවස්ථාවකි. ඕනෑම දෙයක මූලධර්මය ඒ ආකාරයටම පවතින්නේ නැත. ඒ සඳහා එකතු වන්නාවූ වංගු සහ කැටයම්, අවසානයේදී ‘මූලධර්මය’ ධාවනය කිරීමට තරම් ප්‍රබල වන්නේය. ප්‍රජාතන්ත්‍රවාදය අනුව නියෝජිතයන් තෝරා යැවීමේ ජනතා අයිතිය නම් මූලධර්මය සඳහා සිදු කරන ලද, බරපතළ වංගු ගැසීමක් ලෙස, ලහිලහියේ බාර් ලයිසන් ප්‍රදානය, සඳහන් කළ හැක්කේය.
මේ රටේ චිරාත් කාලයක පටන් බාර් ලයිසන් කොළය යනු, දේශපාලන ගොටුකම සඳහා ලබා දෙන්නා වූ සහන පත්‍රයක් විය. ආසන ක්‍රමයට මැතිවරණ පැවැත්වූ කාලයේ, මන්ත්‍රී තනතුරේ දිවුරුම් දුන් පසු ඒ හාදයාගේ පළමු බලාපොරොත්තුව බාර් ලයිසන් කඩදාසිය විය. අමතර වශයෙන් පළාතේ ඕ.අයි.සී. පත් කර ගැනීම ආදී කාරණා විය. පළාතේ බාර් ලයිසන් කොළය මන්ත්‍රී අතට දුන් විට, ඔහු එය ලබා දෙන්නේ තමන්ගේ හොඳම ගෝලයා වෙතය. නැතිනම් ඡන්ද කාලයේ බරටම වියදම් කළ මුදලාලි වෙතය. ඔය පැෂන් එක පනහේ දශකයේ අග සිටම ගමක් ගමක් ගාණේ දැකීමට තිබුණි.
මන්ත්‍රී පට්ටම සඳහා සිවිල් හයිය එන්නේ, බාර් පර්මිට් වැනි දේ, ඒ තුළ මිඩංගු කළ විටය. ලැබෙන ආදායම එකකි. ආදායම සලකා සමහර මන්ත්‍රීලා, බාර් ලයිසම සිය සන්තකයේම තබා ගන්නේය. ඒ සඳහා ගසන වංගුව වන්නේ, හොඳම ගෝලයාගේ නම කොළයට යොදා, තෙමේම වැඩේ කරගෙන යෑමය. අනික වන්නේ හවුල් ව්‍යාපාර ආකෘතියය. පළාතේ සිටින බරකාරයෙක් අල්ලාගෙන, ඔහුට බිස්නස් එක ලබාදී, මාසයට ගාණක් ගැනීම තවත් ක්‍රමයක්. තමාට අතදිග හැර වියදම් කළ කෙනෙක් වෙත තැබෑරුම් බලපත්‍රය ලබාදී, ඊළඟ ඡන්දය තෙක් ඉවසාගෙන සිටින්නෝ ද දුලබ වශයෙන් ඇත. අතරමැද්දේ දී නියත ලෙසම මේ පිරිස සඳහා දඩ දැමීම සිදු වන්නේය.
උත්සව කාලයට, විශේෂ අවස්ථා සඳහා මන්ත්‍රීගේ ගෙදරට පැමිණෙන පිරිස් සඳහා සප්පායමට, බඩු සප්ලයි කළ යුත්තේය. පක්ෂ සම්මේලනයට, මැයි දිනයට ආදී වූ පක්ෂයේ අංග සඳහා පළාතෙන් සහභාගි වන ජනතාවගේ බේබදු අවශ්‍යතාව සන්තර්පණය උදෙසා ද බෝතල් සැපයිය යුතුය.
මේ ඍජු ප්‍රතිලාභ සහ බලාපොරොත්තුය. වක්‍ර ආකාරයෙන් විරැකියාව සඳහා ද මේ ලයිසන් පත පිළියමක් වන්නේය. අවශ්‍ය වූ විටක භාවිතය සඳහා පසෙකින් තබා සිටින මැරයන් කිහිප දෙනා මේ බාර් එකේ වැඩට ගත හැකිය. ඔවුහු කැෂියර් කූඩුවේ සිට මුදල් හදල් ආදී කටයුතු සඳහා යොදා නොගන්නේය. සන්ධ්‍යාවේ බාර් එක ඉදිරිපිට වාත වෙන ජනයා වෙත සත්තම දැමීම වැනි කටයුතු සඳහා වටේ කැරකි කැරකී සිටීමේ කාර්යයට මේ අයවළුන් මනාව ගැළපෙන්නේය.
බාර් එකේ එළිපත්තේ කඩල කරත්තයක් ඇත. හැත්තෑව දශකයේ නම් මයියොක්කා, හොඳ ලුණු මිරිසක් සමඟ හදාගෙන එන මිනිසෙක් ඒ අසල සිටියේය. බැදපු මාළු කුරී කිහිපයක්ම විශාල ඇලුමිනියම් බේසමක තබා ගෙන බයිට් වෙළෙඳාම එදා සිදු විය. කාලක් කටේ හලාගෙන, රුපියල් පනහක කඩල බයිට් එක ගත් කල, සමහරුන්ට ළඟ පිකප් වන්නේය. ගේමට එන්නේය. ණයට දෙන්නම් කියා, මදිපාඩු ඉල්ලා සිටින්නේය. නැත යන අර්ථය, ඔය පදමට තේරෙන්නේ නැති හෙයින්, දෙකක් නොඇන්නොත් ඒ පදම්කාරයා, කඩේ එකා සමඟ ගේම ඉල්ලන්නේය. ඒ මොහොතේ මුරගලක් සේ අර මැරයා පෙනී සිටින හෙයින්, බඩු මදි වුවද, කරදරයකින් තොරව සභා තොමෝ විසිර යන්නාහ.
මේ ආදී කාරණා රැසක් ඉටුකර ගැනීම මෙවලමක් වූ බාර් ලයිසන්, ඡන්දය කටේ තබා තොග වශයෙන් බෙදන ලද්දේ ගිය ආණ්ඩුවය. පොහොට්ටුවේ මන්ත්‍රීලා ලයින් කර ගැනීමේ සිලින්ඩරේ වුවමනාව සඳහා එසේ ලබාදුන් ලයිසන් ප්‍රමාණය 361කි.
දත්ත සියල්ල ප්‍රසිද්ධ කාරණයක් බැවින් ඒ ගැන මේ තීරුව විග්‍රහයකට යන්නේ නැත. ජනතාවට වස විස පෙවීම සඳහා ලයිසන් කොළ ගැනීම සහ බෙදීම පළමු වරදය. සුරාව සමාජයෙන් තුරන් කිරීම සඳහා අත්‍යවශ්‍ය පළමු කරුණ නම් එය ලබාගත හැකි අවස්ථා විරල කිරීමය. මේ ආකාරයට හන්දියකට බාර් තුන හතරක් බෙදූ කල, බස් එක පරක්කු වෙන පාටක් ඇත්නම්, කාලක් කටේ හලාගෙන යෑමට, මඳ ආසාව සහිත එකාට ද හිත් දෙන්නේය. සුරා බලපත්‍ර යනු රජයේ ආදායමකි. එයින් උපරිම ආදායම ගැනීම ආණ්ඩුවේ වගකීමය. බලපත්‍ර වෙන්දේසි ක්‍රමයට ප්‍රසිද්ධියේ විකුණුවේ නම් ඔය ගාණ මෙන් විසි තිස් ගුණයක ආදායමක් එයින් භාණ්ඩාගාරයට ලැබෙන්නේය.
අනික මේ දේශපාලන අල්ලස්ය. මැතිවරණය පැවැත්වෙන බව දන්නා හෙයින් ඊට පෙර සිට වැඩේට සූදානම් වීමේ ලක්ෂණයන්ය. ලයිසන් බෙදුවා කියා ජනතාව ඡන්දය දුන්නේ නැත. ගත්ත හැම එකාම පාහේ දැන් ගෙදරය. දුන්න තෙමේ ද ගෙදරය. මේ ආකාරයට බලපත්‍ර බෙදුවා කියා නඩුවක් ද ෆයිල් වී ඇත්තේ බැවින් උත්තර දීමට උසාවි ගෑටීමට ද සිද්ධ වෙනවා ඇත. ඒ දඬුවම්, මේ වරද සඳහා ප්‍රමාණවත් නොවන බව දිනමිණ අදහසය.
ජනතාව පැහැදිලිවම මේ ක්‍රමවේදය බිමට සමතලා කිරීම උදෙසා ඡන්දය භාවිත කර ඇති නිසා, වහාම මේ බලපත්‍ර සියල්ල අවලංගු කළ යුත්තේය.