Home » හිසවෙස් හා පායිම්පත් පැලඳවීමේ මහෝත්සවයක්

හිසවෙස් හා පායිම්පත් පැලඳවීමේ මහෝත්සවයක්

by mahesh
December 6, 2024 1:00 am 0 comment

දෙකටන, ගල්වලගොඩ තනුජා සුජීවනී අතුකෝරල ගුරුතුමියගේ සඳුඅමා රංගායතනය මඟින් හිසවෙස් හා පායිම්පත් පැලඳවීමේ මහෝත්සවය අද උදෑසන 7.00ට නාරම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. ඩිෂාන් කල්හාර ජයරත්න, ලිඛිත ඉඳ්‍රසර, ජී. ඩී. ලක්ෂාන් රණතුංග, විශ්ව නෙත්මිණ ප්‍රනාන්දු, කේෂාන් නෙත්සර කුලතුංග, තුෂීමා හිමරංසි, සකුනි අප්සරා කුලතුංග යන සිසු සිසුවියන් ඊට සහභාගී වෙති.


“පැහැසරණී” පද්‍ය සංග්‍රහය ඔස්ට්‍රේලියාවේ දී එළිදකී

ආචාර්ය නිමල් සේදර මහතා විසින් දියත් කර ඇති ප්‍රජා කවි මෙහෙවර යටතේ සම්පාදනය කරන ලද සිවුවෙනි පද්‍ය සංග්‍රහය “පැහැසරණී” පසුගියදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී දොරට වඩින ලදී. මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියකු වන බුද්ධි ගලප්පත්ති මහතාය.

ඊට අමතරව බ්‍රිස්බේන් නුවර ජීවත්වෙන සිංහබාහු නාට්‍යයේ රඟපෑමෙන් අතිශයින් ජනප්‍රිය වූ කලාකාරියක වන මාලිනී රණසිංහ මහත්මියද උත්සවයේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වූවාය.


සිටුවර පුවත ජාතික රූපවාහිනියෙන්

2012 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී හොඳම නවකතාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ රූපා ශියානි ඒකනායකගේ සිටුවර පුවත නවකතාව ඇසුරින් චමිල් පතිරණ අධ්‍යක්ෂණය කළ සිටුවර පුවත ටෙලි නාට්‍යය දෙසැම්බර් 05 දා සිට ජාතික රූපවාහිනියෙන් රාත්‍රී 8.30ට සෑම සතියේ දිනකම විකාශනය කෙරේ. රොෂාන් රවීන්ද්‍ර, උදාරි වර්ණකුලසූරිය, මීනා කුමාරි, කුමාරි මුණසිංහ රඟති. මෙහි තිර රචනය චාලක රණසූරියයි.


බුද්ධ මාතා 10දා සිට දිවයින පුරා

සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න තිර රචනය, සංවාද රචනය, ගේය කාව්‍ය රචනය සහ අධ්‍යක්ෂණය කළ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වුණු නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මාතා දෙසැම්බර් 10 වැනි දින සිට දිවයින පුරා පිහිටි EAP ඇතුළු සිනමාහල් 64ක ප්‍රදර්ශනය අරඹයි.

ඉන්දීය නළු නිළියන් වන පාල්ගුණි ඛන්නා, අදිති සිං, තුෂාර් ච්බ්බර්, භිමංෂි ජෛන්, ද මෙරට රංගන ශිල්පීන් වන දිල්හානි ඒකනායක, අනුරාධ මල්ලවආරච්චි, සම්පත් ජයවීර, ඉඳුවර සූරිය බණ්ඩාර, ආදීහු රංගනයෙන් එක්වෙති.

කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, රේඛීය නිෂ්පාදනය අනුෂා ධර්මදාස, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, වස්ත්‍රාභරණ නිර්මාණය රමේෂා ඔෂිනි, කේශ රචනා විලාස හරුන් ෂයිඩ්න්, අංග රචනා විලාස ප්‍රියන්ත දිසානායක, දෘශ්‍ය ප්‍රයෝග සමින්ද විතානගේ, බුද්ධික විජේරත්න, නාද සැලසුම්කරණය සසික රුවන් මාරසිංහ, නර්තන අධ්‍යක්ෂණය චන්න වික්‍රමසිංහ, සහාය අධ්‍යක්ෂණය 2 සහ 3 සමිත් බෝධිපක්ෂ, වත්සලා සමරකෝන්, නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්න, වර්ණ සංයෝජනය අසංක වික්‍රමසිරි, ගායනය කාංචනා අනුරාධි, තනුර මධුගීත්, අංජලි හේරත්, ආදිත්‍යා වැලිවත්ත, සංචලි රත්නායකගෙනි.


‘කල්පනා’ වැඩ අරඹයි

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන කුළුඳුල් සිනමා නිර්මාණය වන ‘කල්පනා’ සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පවත්වන ලදි. රවීන් කණිෂ්ක, නෙත්මි රොෂෙල්, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, ලවන් අභිෂේක්, මොරීන් චාරුනී, රවීන්ද්‍ර යසස්, දෙනුවන් සේනාධි, ඔෂාන් සොයිසා, ප්‍රමෝද් ගනේආරච්චි, නෙතලි නානායක්කාර, සරත් කොතලාවල, මධුෂාන් නානායක්කාර, නිශා කෝදාගොඩ, ගීත්මා බණ්ඩාර, අනුරාධා එදිරිසිංහ රංගනයෙන් එක්වෙති. කල්පනා චිත්‍රපටය හසිත් රොහාන් සහ ප්‍රදීප් ජයවීර (osmo creation) නිෂ්පාදනයකි.


“සුපෙම් සුළඟක්” වැඩ අරඹයි

” සුපෙම් සුළඟක් ” නවතම සිනමා නිර්මාණයේ රූපගත කිරීම් පසුගියදා ආරම්භ විය. මෙය ත්‍රිකෝණගත ප්‍රේම වෘත්තාන්තයකි.

මෙය , රන්ජන් ප්‍රසන්නගේ දෙවන සිනමා නිර්මාණයයි. ප්‍රවීණ සිනමා නිර්මාණවේදී සුනෙත් මාලිංග ලොකුහේවා සමඟින් ප්‍රියනාත් විදානපතිරණ එක්ව තිරපිටපත නිර්මාණය කොට ඇත. ලවන්, නෙත්මි සහ සචින්තනී, සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, සේමිණී ඉද්දමල්ගොඩ, දුලානි අනුරාධා, අමිල කරුණානායක, උදිත් අබේරත්න, ගයාන් මාපලගම වැනි ප්‍රවීණයෝ රැසක් සමගින් හේෂාන් මල්ලව, සංගීත් කුරේරා, චාම් අතුකෝරාළ, දිනේෂ් ප්‍රියසාද්, සෙව්වන්දි සතරසිංහ, විශාකා සෙව්වන්දි, සුරන් දිසානායක, දුලක්ෂි රාජපක්ෂ, නිෂු කාරියවසම්, ධනංජය ලක්ෂිත, ෂාමිකා පෙරේරා, චතුරංග කාංචන ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්ව ඇත. මෙය සඳුන් දොලමුල්ලගේ නිෂ්පාදනයකි .


අත් රූකඩ වැඩමුළුවක්

80වේ අපි සංසදය හා සිංහල සංස්කෘතික ආයතනය (සුදර්ශිය)එක්ව සංවිධානය කරන අත් රූකඩ (මපට්) කලාව පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුවක් දෙසැම්බර් 10 සහ 11 යන දෙදින තුළ බොරැල්ල සුදර්ශි ආයතනයේ දී පැවැත්වේ. නොමිලයේ පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා ප්‍රවීණ රූකඩ නිර්මාණ ශිල්පී රූපසිංහ කංකානම්ගේ හා පේමකුමාර දසනායක යන දෙපළ සම්පත් දායකත්වය සපයති. අත් රූකඩ කලාව ඇතුළු පොදුවේ රංගන කලා විෂය පිළිබඳ උනන්දු වන ශිෂ්‍ය‍, තරුණ හා වැඩිහිටි සැමට මෙම වැඩමුළුව විවෘතය. එහෙත් බඳවා ගන්නේ සීමිත කණ්ඩායමක් බැවින් පළමු විමසීම් සඳහා ප්‍රමුඛත්වය හිමිවනු ඇත. ඔබත් සම්බන්ධ වීමට කැමැත්තේ නම්, 0773956703 සහ 0773411532 යන දුරකතන මඟින් අමතා සම්බන්ධ විය හැකියි.


‘මනල්’ තෙදිනක් කොළඹ වන් ගෝල්ෆේස්හිදී

විශාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘මනල්’ සිනමා පටයේ විශේෂ දර්ශන පෙළක් අද සිට තෙදිනක් (6,7,8) තුළ කොළඹ වන් ගෝල්ෆේස් PVR සිනමා ශාලාවේදී තිරගත කෙරේ.


‘මම නෙවෙයි වෙන කෙනෙක්’ හෙට

ප්‍රවීණ රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක් වන ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ දෙසැම්බර් 07 (හෙට) පස්වරුවේ දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.


රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය හා රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 2024

සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය හා රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 2024 අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙවර සාහිත්‍යය උලෙළේදී ජීවිතේ එක්වතාවක් පමණක් පිරිනැමෙන සාහිත්‍ය රාජ්‍ය සම්මානය (සිංහල මාධ්‍ය) මහාචාර්ය ජිනදාස දනන්සූරිය, දෙමළ මාධ්‍ය අන්න ලක්ෂ්මි රාජදුරෙයි, ඉංග්‍රීසි මාධ්‍ය සම්මානිත මහාචාර්ය වෝල්ටර් පෙරේරා වෙත පිරිනැමීය. හොඳම නවකතාවට හිමි සම්මානය විරාජිණී තෙන්නකෝන් රචනා කළ ‘කැමේලියා’ නවකතාවටද, හොඳම කෙටි කතාව ප්‍රභාත් ජයසිංහ රචනා කළ ‘මඟහැරුණු දූපත්’ හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය නවකතාව විහඟ පෙරේරා ඉංග්‍රීසි බසින් ලියූ student and Rebels සඳහා පිරිනැමිණ.

රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 2024දි සිංහල සීමිත අංශයේ හොඳම ළමා නළුවා ලෙස ‘පාට පාට සරුංගල් නාට්‍යයේ’ පොඩ්ඩාගේ චරිතය නිරූපණය කළ ඩී. එම්. සඳරු අදිශ ද හොඳම ළමා නිළිය ලෙස ‘බෙදාගෙන කමු’ නාට්‍යයේ ‘මී අක්කාගේ’ චරිතය රඟදැක්වූ යුනෙලි යසස්මි ද සම්මාන හිමිකර ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT