Home » ප්‍රංශ රජය බිඳ වැටෙයි
විශ්වාසභංගයකින් අගමැති පරදී

ප්‍රංශ රජය බිඳ වැටෙයි

by mahesh
December 6, 2024 1:00 am 0 comment

විශේෂ බලතල භාවිත කරමින් ඡන්ද විමසීමකින් තොරව අයවැය සම්මත කර ගැනීමට උත්සාහ කළ ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර් විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහකිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1958 වසරෙන් පසු විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් නෙරපා හැරුණු පළමු අගමැතිවරයා ද ඔහු වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් විසින් පසුගිය සැප්තැම්බරයේදී අගමැතිධුරයට පත් කරනු ලැබූ 73 හැවිරිදි මිචෙල් බාර්නියර් එරට වයස්ගතම අගමැතිවරයා ද වන අතර, වසර 62කට පසුව විශ්වාසභංග යෝජනාවකින් ප්‍රංශයේ රජයක් බිඳ වැටුණු පළමු අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිචෙල් බාර්නියර්ගේ ධුර කාලය දින 90කට සීමාවූ අතර, ප්‍රංශයේ අඩුම කාලයක් අගමැතිධුරය දැරූ පුද්ගලයා ලෙසත් මිචෙල් ඉතිහාසයට එක්වූ බව වාර්තා වේ.

පසුගිය මහමැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබීම හේතුවෙන් එරට උද්ගත වූ දේශපාලන අස්ථාවරභාවය රජය බිඳ වැටීමත් සමඟ තවත් ඉහළ ගොස් තිබේ. විශ්වාසභංග යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍ය වූවද, ඒ සඳහා ඡන්ද 331ක්ම ලැබී තිබූ බව වාර්තා වේ. කෙසේ වුවද ජනාධිපතිවරයා නව අගමැතිවරයකු නම් කරන තුරු මිචෙල් බාර්නියර් අන්තර්වාර අගමැති ලෙස කටයුතු කරනු ඇතැයි ද වාර්තා වේ. ජනාධිපතිවරයා ඊයේ ජාතිය ඇමැතීමට නියමිතව සිටි බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT