Home » ඉන්දික උඩවත්ත මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයේ වැඩ භාර ගනී

ඉන්දික උඩවත්ත මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයේ වැඩ භාර ගනී

by mahesh
December 6, 2024 1:00 am 0 comment

අසේල කුරුළුළුංශ
ඉන්දික උඩ­වත්ත මහතා මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් ධුරයේ වැඩ භාර­ගත් අව­ස්ථාව

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඉන්දික උඩවත්ත මහතා ඊයේ (05) මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේය.

පසුගිය 2 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයට ඒ මහතා පත්කිරීමට අනුමැතිය ලබාදී තිබුණි. හිටපු දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරය පුරප්පාඩු විය.

2003දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව තිබෙන ඉන්දික උඩවත්ත මහතා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලෙස රාජකාරි ආරම්භ කර තිබේ. අනතුරුව උහන සහකාර ප්‍රාදේශීය ලේකම් සහ උහන ප්‍රාදේශීය ලේකම් ලෙස ඔහු සේවය කර ඇත.

අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ ඒ මහතා යටිනුවර සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් තනතුරු ද හොබවා තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට පෙර ඒ මහතා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන ඉන්දික උඩවත්ත මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමිකරගෙන තිබේ. මීට අමතරව උඩවත්ත මහතා රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දෙස් විදෙස් පුහුණු වැඩසහන් ගණනාවකට සහභාගි වී ඇත.

ග්‍රන්ථ කර්තෘවර‍ෙයක් හා සාහිත්‍යකරුවකු වන ඒ මහතා අම්පාර රජගලතැන්න මහ විද්‍යාලය, අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසල සහ නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලවල ආදි සිසුවෙකි.

නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවේ ආගමික වතාවත් සඳහා මල්වතු මහ විහාර පාර්ශ්වීය කාරක සංඝ සභික දර්ශනපති මහවෙල රතනපාල හිමි ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටි අතර හිටපු දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ද සුබ පැතීමට එක්ව සිටියේය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT