මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයන් 14ක් ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරේදා (04)මෙරට මුහුදු සීමාවේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරුමැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර,එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්,උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරුමැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා කර තිබේ.
එහිදී මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයන් 14ක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මේ මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයන් 14 දෙනා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව පවසයි.
මේ මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා හැට අටක් සහ ඉන්දීය ධීවරයන් 529ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව පවසයි.