ඊශ්‍රායලයේ රට රැකියාවක් ලබා ගැනීම සඳහා තම සැමියාගෙන් ලබාගත් රුපියල් තුන් ලක්ෂ අසූ පන්දහසක මුදල සැමියා මියයන තුරුත් විදේශ රැකියාව ලබා නොදී මුදල ද ලබා නොදී සිටින විදේශ රැකියා ආයතනයකට විරෝධය ප්‍රකාශ කරමින් කැකිරාව ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය දා දඹුල්ල නගරයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් තම දුක කියමින් හඬා වැටෙමින් විරෝධතාවක නිරතව සිටියාය.
දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මෙම පෞද්ගලික විදේශ රැකියා ආයතනය ඉදිරිපිට රැඳී සිටි මෙම තිදරු මව දඹුල්ල පොලීසියේ නිලධාරින් පැමිණ ඇය රැගෙන ගොස් දුරකතනයෙන් ප්රශ්නය විසඳා නිෙවසට පිටත් කර යවා තිබේ.

දෙපා අහිමිව සිටින මව
මෙසේ අසාධාරණයට ලක්ව ඇත්තේ එච්.පද්මලතා සොයිසා නමැති තිදරු මවකි. ඇය ඔලුකරද, කැකිරාව, ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. සැමියා වන බුද්ධික රොෂාන් ප්‍රසන්න මහතා පසුගිය වසරේ ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා රුපියල් තුන්ලක්ෂ අසූ පන්දහසක මුදලක් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයකට ගොස් ලබා දී ඇතත් මාස ගණනාවක් යනතුරු රැකියාව ලබා නොදුන් බව ඇය පවසයි.
තම සැමියා හදිසියේම නියුමෝනියා උණ වැලඳී මියගොස් දැනට මාස තුනකට අධික කාලයක් වන බවත් තම සැමියා විසින් ලබා දුන් මුදල ඉල්ලා සිටිය ද මෙතෙක් තමන්ට ලබා නොදෙන බව ඇය පවසා සිටින්නීය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලිසියට අවස්ථා ගණනාවක තමන් පැමිණිලි ඉදිරිපත් කළද මෙම විදේශ රැකියා නියෝජිතයන් මසකට රුපියල් පනස්දහස බැගින් ලබා දීමට පොරොන්දු වූ බවත් තම සැමියාගේ තුන් මාසයේ පින්කම සිද්ධ කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද තමන්ට පින්කම කටයුතු කර ගැනීම සඳහා රුපියල් හතළිස් දහසක පමණ මුදලක් ලබා දී ඉතිරී මුදල් නොදී බොරු කරමින් තමන් බිය ගන්වමින් දුරකතන ඇමතුම් ලබා දෙන බව ඇය පවසන්නීය.
සැමියා හදිසියේ මියගියද තමන්ගේ වැඩිමහල් දරුවා මේ වන විට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බවත්, දෙවැනි දරුවා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින බවත්, තෙවැනි දියණිය තවමත් කුඩා අවධියේ පසුවන බවත්, තම මෑණියන් දුම්රියේ වඩේ විකිණීම සිදුකරන අතරතුර දුම්රියෙන් ඇද වැටී පාද දෙකම අහිමි වී සිටින බවත්, රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ හතරක මුදලක් ණයට ලබාගෙන තම සැමියා විදේශගත කිරීම සඳහා මෙම ආයතනයටම ගොස් තුන්ලක්ෂ අසූ පන්දහසක මුදල ලබාදීම කළ බවද මෙතෙක් එය ලබා නොදීම බරපතළ ප්‍රශ්නයක් බව ඇය මහමඟ සිට හැඬූ කඳුළින් පැවසුවාය.

පුංචි දියණිය පියාගේ පින්තූරය තුරුළු කරන්
දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මෙම පෞද්ගලික විදේශ රැකියා ආයතනයෙන් මේ පිළිබඳව විමසීමේ දී එහි සේවිකාවක පවසා සිටියේ මෙම ගනුදෙනුව තම ආයතනය ඇතුළේ සිදු වුවද වෙනත් උප නියෝජිතවරයකු හරහා එය සිදුවී තිබෙන බවයි. කෙසේ වෙතත් වාරික වශයෙන් ඔවුන්ට මුදල් ගෙවීමට සැකසෙමින් පවතින බව ඇය පැවසුවාය. එම කරුණු විමසීමට යන අවස්ථාවේදී තවත් තරුණයන් කිහිපදෙනෙකුම මෙම ආයතනය ඇතුළේ රැඳී සිටියේ ඔවුන්ට ද විදේශ රැකියා ලබාදෙන බව පවසා වසරකට අධික කාලයක් ඔවුන්ගේ මුදල් ද විදේශ ගමන් බලපත්‍ර ද මෙම ආයතනය සතුව ඇති බව ප්‍රකාශ කරමින්වීම විශේෂත්වයකි.
මෙම සිද්ධිය පිළිබඳව පද්මලතා සොයිසා මහත්මියගේ නිෙවසට ගිය අවස්ථාවේ දී මෙම රැකියා ආයතන නිලමුද්‍රාව සහිත ලිපි දෙකක් මුදල් ලබා ගත් බවට එහි නිලධාරියෙක් වූ රවී සුබාෂ් නමැති අයකු අත්සන් කොට ඇයට ලබා දී තිබේ. එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගොස් පැමිණිලි කරන ලද සටහන් ද ඇය අප හමුවේ ඉදිරිපත් කළාය.
කෙසේ වෙතත් මෙම පෞද්ගලික විදේශ රැකියා ආයතනය හිමිකරු බව කියන අයගේ ජංගම දුරකතනයට අප ඇමතුමක් ලබාගෙන විදේශ රැකියා තිබේදැයි විමසීමේදී ඔහු තවදුරටත් සඳහන් කළේ ඩුබායි රැකියා පිරිමි අයට තම ආයතනයේ පවතින බවයි.
කෙසේ වෙතත් අප ජනමාධ්‍යවේදීන් බව හුවා දක්වමින් සිදුව ඇති සිද්ධිය පිළිබඳව ඔහුගෙන් විමසීමේ දී පවසා සිටියේ තම ආයතනයේ වැඩ කළ සේවකයෙකු, උප නියෝජිතවරයකු ලෙස පෙනී සිටිමින් මේ ආකාරයෙන් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඔහුට විරුද්ධව නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය. මෙම කාන්තාවට වාරික වශයෙන් මුදල් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මෙම රැකියා ආයතනය තුළදීම රට රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගන්නා රවී සුබාස් නමැති පුද්ගලයා මෙම කාන්තාවට දුරකතන ඇමතුමක් ලබාගෙන තර්ජනය කරමින් තමන් නීතිවේදියකු සමඟ දින කිහිපයකින් ඇය හමුවීමට එන බව ප්‍රකාශ කළේය.