දරුවන් දෙදෙනා ඉතාලියේ සැප විඳන අතර පියෙකු අසරණව පානදුර ආලෝකා වැඩිහිටි නිවාසයට භාරගත් පුවතක් එම වැඩිහිටි නිවාසයෙන් වාර්තාවේ.
පානදුර දකුණ පොලිසියේ මැදිහත්වීමෙන් මෙසේ භාරදී ඇත්තේ පිටකෝට්ටේ පදිංචි 79 හැවිරිදි පී. බාලසූරිය නමැති දෙදරු පියෙකි.
සිය බිරියද වෙනම ජීවත්වන බැවින් රෝගීවූ අවස්ථාවලදී විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට බැහැර කිරීමෙන් පසු පානදුර දකුණ පොලිසිය විසින් පානදුර පින්වත්ත ආලෝකා වැඩිහිටි නිවාසය වෙත භාරදුන් බව කඳුළු පිරි දෙනතින් හෙතෙම පැවසීය.
ආලෝකා වැඩිහිටි නිවාසයේ මේ වනවිට දැඩි අපහසුතා මධ්‍යයේ සියයකට අධික අසරණ වැඩිහිටියන් අපහසුවෙන් රැකබලා ගන්නා බැවින් නව බඳවාගැනීම් සිදු නොකරන නමුත් බාලසූරිය පියාගේ දුක්බර කතාවට ඇහුම්කන්දී භාර ගැනීමට කටයුතු කළ බව ප්‍රධාන පාලක පියල් ප්‍රනාන්දු මහතා පැවසීය.
රෝගී තත්ත්වයේ පසුවන එම අසරණ පියාට කිසියම් ආකාරයකින් පිහිටවීමට බලාපොරොත්තු වන පරිත්‍යාගශීලින්ට ඔහුගේ සුවදුක් විමසා සරණක් විය හැකි බව වැඩහිටි නිවාසයේ පාලක පවසයි.