Home » ජාතික සමගියට හානිකර අසත්‍ය තොරතුරු වාර්තා කරන්න එපා
ආණ්ඩුව විවේචනයට මාධ්‍යයට කිසිම බාධාවක් නෑ:

ජාතික සමගියට හානිකර අසත්‍ය තොරතුරු වාර්තා කරන්න එපා

ජනපති විදත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියයි

by mahesh
December 6, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

වඩාත් හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව, එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රටේ ඇති කිරීමට එක් වන ලෙස සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේය. දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිම බාධාවක් නැති වුවද ජාතික සමගියට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය. රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව අවධාරණය කළ අතර, ජනමාධ්‍ය නිදහස කිසිම අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බව ද කියා සිටියේය.

රටේ මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳ රජයේ ස්ථාවරය මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා අද වන විට ප්‍රධාන ගැටලුවක්ව පවතින දුප්පත්කම තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් ද මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළේය. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය නියෝජනය කරන සාමාජිකයන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සමූහ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරින්, සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT