Home » හන්තානේ අතරමං වූ සිසුන් පරිස්සමින් ගෙවල්වලට

හන්තානේ අතරමං වූ සිසුන් පරිස්සමින් ගෙවල්වලට

by mahesh
December 6, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

හන්තාන කඳු මුදුනේ අතරමං වූ පාසල් සිසුන් 10 දෙනකු මහත් පරිශ්‍රමයක් දරා පැය හයක පමණ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව කඳු පාමුලට ගෙන ඒමට පොලීසියේ හා යුද හමුදාවේ නිලධාරීන් සමත්ව තිබේ.

අවුරුදු 16-17 වයසේ පසුවන කිරිබත්ගොඩ, කඩවත හා ඒ අවට ප්‍රදේශයේ පදිංචි පාසල් සිසු පිරිස පෙරේදා (04) දහවල් මහනුවරට පැමිණ පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයෙන් හන්තාන තරණය කර ඇත. මෙම සිසුන්ගෙන් 09 දෙනකු කැලණියේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුන් වන අතර එක් සිසුවකු කොළඹ පිහිටි ජාතික පාසලක අධ්‍යාපනය ලබන අයකු බව පොලීසිය කියයි. මෙම සිසුන් හන්තාන කඳු තරණයට පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් ලෙස බව ද පොලීසිය සඳහන් කළේය.

අධික මීදුම සහිත කාලගුණික තත්ත්වයත් සමඟ අඳුර වැටීම හේතුවෙන් යළි පහළට පැමිණීම සඳහා මාර්ගය සොයා ගැනීමට නොහැකි වූ සිසු පිරිස කඳු මුදුනේ රැය පහන් කර පසුදින අලුයම පහළට බැසීමට තීරණය කර තිබෙන නමුත් අධික ශීත හේතුවෙන් සිසුන් කිහිපදෙනකු අසනීප වීම නිසා ඔවුන් ඒ බව දුරකතන මඟින් මවුපියන්ට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු මහනුවර දෙවන සිංහ රෙජිමේන්තුවේ සෙබළ කණ්ඩායමකගේ ද සහාය ඇතිව පොලීසිය සිසුන් සෙවීමේ මෙහෙයුම දියත් කර ඇත.

පොලීසිය හා යුද හමුදාව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිසුන් සිටි ස්ථානයට ළඟා වීමෙන් පසු සරසවිගම ප්‍රදේශයෙන් ඔවුන් පහළට රැගෙනවිත් ප්‍රථමාධාර ලබා දී තිබේ.

සිසු පිරිස ඊයේ (05) පෙරවරුවේ යළි කොළඹ බලා පිටත් කර යැවීමට මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා පියවර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT