හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක නීතිඥ සුජීව සේනසිංහ මහතාට අයත් බව කියන කළු පැහැති V8 වර්ගයේ එකලස් කළ වාහනයේ මුල් අයිතිකරු බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගෙන් ලබා ගත් ආදර්ශ අත්සන් සහ සියලු ලිපි ලේඛන රජයේ රස පරීක්ෂකවරයාට යවා වාර්තා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (05) නියෝග කළාය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අධිකරණ නියෝග ප්‍රකාරව ගෙන්වා ගත් MT-6 සහ 2 පෝරම දෙක සහ නෝ ඔබ්ජෙක්ෂන් ලිපිය මීට ඇතුළත්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත්වරිය මෙලෙස අවසර ලබා දුන්නාය.
ජේ. ශ්‍රී රංගා මහතාගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් ඇතැම් පෝරමවල අත්සන් ඔහුගේ නොවන බවට ප්‍රකාශ ලබා දුන් බවත් කී පොලීසිය ඔහුගේ ආදර්ශ අත්සන් සහ ප්‍රශ්නාවලිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අධිකරණ නියෝග ප්‍රකාරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
රංගා මහතා ලබා දුන් ප්‍රකාශවලට අනුව අත්සන් තැබූ ලේඛනවල අත්සන් ඔහුගේ බවට පිළිගත් බවත් ඇතැම් ලේඛන ප්‍රතික්ෂේප කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව ප්‍රශ්නාවලියක් සකස් කළ බවත් එම ප්‍රශ්නාවලියේ ඇතුළත් ප්‍රශ්නවලට රජයේ රස පරීක්ෂකවරයා සිදු කරන පරීක්ෂණවලින් අනතුරුව පිළිතුරු යොදා සකස් කරන ලද වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.