Home » ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය දෙසැ.10 වැනිදා සිට

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය දෙසැ.10 වැනිදා සිට

by chanaka
December 6, 2024 6:53 am 0 comment

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2024 දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගී වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 09 වැනි දින පැවැත්වේ.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා පැවැත්වුණි.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධාන කරනු ලබන ජාතික ගොල්ෆ් ක්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන 2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2025 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ප්‍රීමා සමාගමේ ජනප්‍රියතම සන්නාමයක් වන‘ප්‍රීමා සන්රයිස්‘ වෙතින් අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත.

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක හා බාලිකා කාණ්ඩයන්ගෙන් ජාතික ශූරතා දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකා වර්ගීකරණය ලෙස සුපතල World Amateur Golf Rankings (WAGR) වෙත ඇතුලත් වීමේ අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලාංකීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් රටටම හඳුන්වා දෙන මෙවර තරගාවලියට විදේශ තරගකරුවන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති රනිල් පීරිස් මහතා “ශ්‍රී ලාංකීය ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාගේත් අවධානය දිනූ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ප්‍රීමා සන්රයිස් ශක්තියත් සමග 16 වසරක් තිස්සේ සංවිධාන කරන්නට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවනවා“ යැයි පැවසීය.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ කනිෂ්ඨ ගොල්ෆ් අනු කමිටුවේ සභාපතිනිය නිලෝ ජයතිලක මහත්මිය අදහස් දක්වමින් “ප්‍රීමා සන්රයිස් වෙතින් ලැබුණ මෙම අනුග්‍රාහකත්වය හුදෙක් මූල්‍යමය දායකත්වයක්ම පමණක් නොවෙයි ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයටත් ක්‍රීඩාවේ වෘත්තීයවේදීත්වයටත් ලැබුණු සහෘද අත්වැලක්. ප්‍රීමා සන්රයිස් සන්නාමයත් එක්ක ඇතිව තිබෙන මේ දිගුකාලීන සබඳතාවය නිසාම වෙනදා වාගේ මෙවරත් දිවයින පුරා සිටින දක්ෂයන් එක් රැස්කරගනිමින් මෙම තරගාවලිය සංවිධාන කිරීමට අපට හැකිව තිබෙනවා’ යැයි පැවසුවාය.

ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ඇන්ඩි විරවන් මහතා ප්‍රීමා සන්රයිස් අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ “ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා නිර්ණායකය වන ශ්‍රීලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය වෙනුවෙන් දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ගෝල්ෆ් සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ප්‍රීමා සමූහයට ලැබීම මහත් ගෞරවයක්, තරුණ හා නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට, ඔවුන් සවිබල ගැන්වීමට සහ ක්‍රීඩාවේ උසස් ප්‍රමිතිගත තත්ත්වයක් පවත්වාගැනීමට උපකාරී වන ගමනක කොටස්කරුවන් වීමට සෑම වසරකම අපගේ අනුග්‍රාහකත්වය හේතුවන බව අප තදින් විශ්වාස කරනවා.“යනුවෙනි.

ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් 16 වසරක් තිස්සේ ප්‍රීමා දැක්වූ අමිල දායකත්වයේ නිහඬ ප්‍රතිඵල ශ්‍රී ලංකා ගොල්ෆ් අඹරේ දිලෙන යෞවන ක්‍රීඩා තරු අතර කැපීපෙනෙන ජෙවාහ්න් සතාසිවම්, රෙෂාන් අල්ගම, කායා දළුවත්ත, ආදිත්‍ය වීරසිංහ, සිතාරා ලෝරන්ස්, අනුමි කරුණාතිලක, ජේකබ් නෝටන්, ලවිඳු ප්‍රේමරත්න, රෙවාන් අමරසිංහ, තේජස් රතිස් කාන්ත් සහ සෙනාල් නිම්සිත් යනාදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් හරහා කැපී පෙනේ.

වයස් කාණ්ඩ
Gold විවෘත – වයස අවුරුදු 15 ත් 18 ත් අතර බාලක හා බාලිකා
Silver – වයස අවුරුදු 13 ත් 14 ත් අතර බාලක හා බාලිකා
Bronze – වයස අවුරුදු 11 ත් 12 ත් අතර බාලක හා බාලිකා
Copper – වයස අවුරුදු 10 සහ 10 න් පහළ බාලක හා බාලිකා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT