Home » ඉන්දීය රජයේ මූල්‍යාධාරවලට ශ්‍රී ලංකා සරසවි සිසුන්ගෙන් පැසසුම්

ඉන්දීය රජයේ මූල්‍යාධාරවලට ශ්‍රී ලංකා සරසවි සිසුන්ගෙන් පැසසුම්

by chanaka
December 6, 2024 3:56 pm 0 comment

ඉන්දීය රජයේ විශේෂ මූල්‍යාධාර යෝජනාක්‍රම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සිසුන් අගය කරයි.

ඉන්දීය රජයේ විශේෂ මූල්‍යාධාර යෝජනාක්‍රමය අගය කරමින්, යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝලීය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යෝජනාක්‍රමය සඳහා තෝරාගැනුණු ශිෂ්‍යයෙක් මෙලෙස ප්‍රකාශ කළේය. “මූල්‍ය පීඩනය අවම කිරීම සඳහා මෙම ප්‍රදානය බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතරම ඒ නිසා මට මාගේ අධ්‍යයන කටයුතුවලට වැඩි අවධානයක් දෙන්න පුළුවන්. මෙම මූල්‍යාධාරය නිසා මට නිතිපතා විශ්ව විද්‍යාලයට පැමිණ මූල්‍ය අඩුපාඩුකම් පිළිබඳ කරදර නොවී මාගේ පාඨමාලාවේ කටයුතුවලට අවධානය යොමු කරන්න පුළුවන්. එය මාගේ අධ්‍යාපන දක්ෂතාවලටත් සමස්ත සුබසිද්ධියටත් සැලකිය යුතු ලෙස දායක වී තිබෙනවා”

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ ශිෂ්‍යයෙක් මෙලෙස ප්‍රකාශ කළේය. “මෙම සහය ඉතා ප්‍රයෝජනවත්. එයින් මාගේ මාසික අධ්‍යාපන වියදම ආවරණය කරගන්න පුළුවන්. මගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් මිලදී ගැනීමට, ඡායාපිටපත් සහ මුද්‍රිත පිටපත් ලබාගැනීමට යන වියදම් සඳහා මෙන්ම මාගේ ආහාර අවශ්‍යතා සඳහා ද මෙම ප්‍රදානය මට උපකාරී වී තිබෙනවා” ශාස්ත්‍ර පීඨයේ සංස්කෘතික සංචාරක කර්මාන්තය පිළිබඳ පාඨමාලාව හදාරන තවත් ශිෂ්‍යයෙක් ක්ෂේත්‍ර සහ පර්යේෂණ කටයුතු සඳහා මෙම මූල්‍යාධාරය ඉවහල් වන බව පැවසීය.

මෙම සිසුන් යාපනය විශ්ව විද්‍යාලයේ සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ආර්ථික අපහසුතා සහිත පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ආරම්භ කරන ලද විශේෂ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මෙම වසරේදී තෝරා ගන්නා ලදී. යාපනය විශ්ව විද්‍යාලයෙන් සිසුන් 100ක් ද නැගෙනහිර විශ්ව විද්‍යාලයෙන් සිසුන් 100ක් ද මේ සඳහා තෝරා ගැනිණ. සමස්ත වර්ෂයක් සඳහා මාසික මූල්‍යාධාර ලබා දෙන මෙම යෝජනාක්‍රමය ඉන්දීය රජය විසින් පිරිනමන ශිෂ්‍යත්ව යෝජනාක්‍රම රැස අතරින් එකකි.

ඉන්දියාව වාර්ෂිකව ශ්‍රී ලාංකීය සිසුන්ට ශිෂ්‍යත්ව අවස්ථා 710ක් පමණ පිරිනමන අතර ඒ අතරින් 200කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව, මාසික ජීවන වියදම් දීමනාවක්, පොත් සහ ලිපිද්‍රව්‍ය සඳහා දීමනාවක්, නවාතැන් සහ සංචාරක වියදම් ආවරණය කරන පූර්ණ ශිෂ්‍යත්ව වේ. මෙම ශිෂ්‍යත්ව ඉංජිනේරු විද්‍යාව, මානව ශාස්ත්‍ර, විද්‍යා, කෘෂිකර්මය, සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යයන වැනි විවිධ ක්ෂේත්‍රයන්හි උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පිරිනමනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT