අපි සම්මත කළ පනත් කෙටුම්පතක් තිබෙනවා
– මන්ත්‍රී දයාසිරි ජයසේකර
ආණ්ඩුවේ ස්ථාවරය දැන ගැනීම අපට වැදගත්
– මන්ත්‍රී ගයන්ත කරුණාතිලක
ලබන වසරේ මුල් කාර්තුව තුළ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම මෙන්ම දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති ආදිය පවත්වා ගෙන යෑම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවත්, විපක්ෂය පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ එකඟතාවන් අනුව ස්ථාවර නියෝග අත්හිටුවමින් එය ඉදිරිපත් කිරීම සිදු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
ලබන වසරේ මුල් කාර්තුව තුළ කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේ අයිතිය ඇති බවත් විපක්ෂය උත්සාහ කරන්නේ මෙම සිදුවීම පදනම් කර ගනිමින් මාධ්‍ය සංදර්ශනයක් සිදුකිරීමට බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ කරුණකට පිළිතුරු දෙමිනි.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා –
අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් අපි සම්මත කළ පනත් කෙටුම්පතක් තිබෙනවා. ඒ සම්මත කළ ව්‍යවස්ථාව අනුව තමයි සභානායකතුමා අතුරු සම්මත ගිණුම ගෙන එන්නේ. මෙම පනත් කෙටුම්පතට අත ඔසවපු අය අපි. ඒ නිසා මෙම පනත් කෙටුම්පත උල්ලංඝනය කරමින්, අගෝස්තු මාසේ 08 අපි සම්මත කළ පනත් කෙටුම්පතක් තිබෙනවා. මම දන්නවා, හදිසි අවශ්‍යතාවක් තිබෙනවා. නමුත් පනත් කෙටුම්පත උල්ලංඝනය කරමින් කරන්නට පුළුවන්ද යන ගැටලුව තිබෙනවා. මෙච්චර කාලයක් අතුරු සම්මත ගිණුම් හිතෙන හිතෙන විදිහට ගෙනාවා. ඒක වැරදියි. පාර්ලිමේන්තුව ලෙස මෙම පනත සම්මත කරන්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතින්. ඒක ගේන්නෙත් අගමැතිතුමිය, විසිතුන් වැනි වගන්තිය යටතේ. ඒකෙන් කියන්නේ මොකක්ද. පවත්නා වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දා වනවිට ඉදිරි වසර සඳහා වන විසර්ජන පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු නොලැබුවහොත් මුදල් අමාත්‍යවරයා විසින් දැනට කරන ව්‍යාපෘති සඳහා හා ඉදිරි මාස වෙනුවෙන් ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි. එයින් අදහස් කරන්නේ විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුයි. ඒක සම්මත නොවුණොත් පමණයි අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළ යුත්තේ. මේක ආණ්ඩුවට හදිසි කාරණයක් අපි දන්නවා. මම පක්ෂ නායක රැස්වීමේ හිටියේ නැහැ. ඒ නිසා මේ ගැන විමසන්න බැරි වුණා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මේ පනතක් තිබියදී අපි මේ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන්නෙම 23 වන වගන්තිය යටතේ කියලා. එතකොට 23 වන වගන්තිය කියවිය යුතුයි. එහි බොහොම පැහැදිලිව තිබෙනවා, විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුයි කියලා. මම හිතන්නේ මම මේක මතු කරන්නේ අපි මේක දිගින් දිගටම දැකලා තිබෙනවා. අපි මේවට ඇති තරම් රණ්ඩු කරලා තිබෙනවා, පාර්ලිමේන්තුවේ. 159ක බලයයි විපක්ෂයේ 66ක් ඉන්නවා. අපේ බලයත් යටපත් කරන්න බැහැ.
කථානායකවරයා –
දයාසිරි ජයසේකර මහතා මතු කරන කාරණය සම්බන්ධයෙන් අපි පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරලයි මෙය ඉදිරිපත් කරන්නට තීරණය කළේ.
සභානායකවරයා –
අපි ඉතාම පැහැදිලිව කියනවා, ඔබතුමා දයාසිරි ජයසේකර මහතාට අවසර දුන්නා දිනයකුත් නැතිව 9.25ට ලබා දුන්න කරුණ ඉදිරිපත් කරන්නට. වරප්‍රසාද කරුණු එහෙම ඉදිරිපත් කරන්න බැහැ. නමුත් ඔබතුමා අවස්ථාව දුන්නා. ගයන්ත කරුණාතිලක මහතාට යමක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. නමුත් මේක මාධ්‍ය සංදර්ශනයක් කරගන්න එපා. අපි කරුණාවෙන් ඉල්ලනවා. ඒ නිසා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහතා මොනව හරි කියනවාද.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා –
මේක විවාදයක් කරගන්නට අපට අවශ්‍යතාවක් නැහැ. දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් ආණ්ඩුව ස්ථාවරය දැන ගැනීමයි අපට වැදගත්. විශේෂයෙන්ම අතුරු සම්මත ගිණුම හා පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම පිළිබඳව අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකා බලා එකඟ වුණා. ස්ථාවර නියෝග අත්හිටුවා මෙය කරගෙන යන්නත් එකඟ වුණා. ඒ වගේම ස්ථාවර නියෝග අනුව මෙය දින පහක් න්‍යාය පුස්තකයේ තිබිය යුතුයි. නමුත් ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කරන්නටත් තීරණය කර තිබෙනවා. ඊට අමතරව දයාසිරි ජයසේකර මහතාගේ තර්කය වැදගත් නිසා ආණ්ඩුවේ මතය පැහැදිලි කරන්න.
සභානායක බිමල් රත්නායක මහතා –
මුදල් කාරක සභාවක් තිබෙනවා නම් මෙය මුදල් කාරක සභාවට ඉදිරිපත් කිරීම අපට ගැටලුවක් නැහැ. නමුත් මුදල් කාරක සභාවක් තවම පත් කර නැහැ. එම නිසා පාර්ලිමේන්තුවේ පොදු කටයුත්තක් මිස අපගේ ගැටලුවක් නොවෙයි. ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කරනවා යැයි කීම වැරදියි. දෙවැනි කරුණ තමයි දින පහේ ප්‍රශ්නය. එකඟ වූ දේවල් සම්බන්ධයෙන් ආචාරධර්ම අනුව කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ කරුණේ දිනයවත් තිබුණේ නැහැ. 9.25ට දුන්නේ. ඒ ගැනවත් හිතන්නෙ නැතිව ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නා. නමුත් එතුමා ඉදිරිපත් කරන පනත ගැන පැහැදිලි කරන්න කියලා මම නලින්ද ජයතිස්ස මහතාට කියනවා. ඒ වගේම අපි සංයමයෙන් වැඩ කරමු.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා –
අපි මේ තත්ත්වයන් තේරුම් ගත යුතුයි. මේ දෙසැම්බර් 05 වැනිදා ආවේ නොවැම්බර්, ඔක්තෝබර් , සැප්තැම්බර් මාස නැතිව නෙවෙයිනේ. ඒ මාසවල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය පැවැත්වුවා. එතැනින් පසු කාලයනේ මේ ගත වෙන්නේ. පැවැති තත්ත්වයන් අනුවයි අපට වැඩ කරන්නට සිදු වෙන්නේ. දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කරන කරුණ අනුව තිබෙන්නේ වසරේ දෙසැම්බර් 31 වැනි දා වනවිට ඉදිරි වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු නොලැබුවහොත් යන කරුණයි.