ආණ්ඩුව වැඩපිළිවෙළ කෙරෙහි ජනතාව විශ්වාසය තබා පසුගිය කාලයේ මෙන් නොව අද වන විට තමන් විසින්ම බදු ගෙවීමට ඉදිරිපත් වී සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී (05) ප්‍රකාශ කළේය.
2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදයට එක්වෙමින් කර්මාන්ත ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ජනතාව සහ සමාගම් තමන් විසින්ම බදු ගෙවීමට ඉදිරිපත් වී ඇති බවත්, ඉදිරියේදී නිවෙසේ සිටම බදු ගෙවීමට හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
ආදායම වැඩි කර ගැනීමේ එකම විකල්පය විකිණීම නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසි විටෙක එසේ කියා නැහැ. ආණ්ඩු එසේ කියමින් ජනතාව නොමඟ යැවුවා.
ආර්ථිකය මෙතරම් කඩාවැටීමට හේතු වුණේ අපේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම නිසයි. පගාව වෙනුවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනඟනවා.
ජනතාව ගෙවන බදු මුදල් ආරක්ෂා කරන වැඩසටහන් අපි ඉදිරිපත් කර තිබෙනවා. අපගේ වැඩසටහන කර්මාන්තශාලා හිමියන් සහ බදු ගෙවන්නන් විසින් පිළිගෙන තිබෙනවා. එබැවින් බදු ගෙවන්නන් ස්වයං බදු ගෙවීම සඳහා වඩාත් උනන්දු වෙමින් සිටිනවා. ගෙවීම් පැහැර හරින අයට සැප්තැම්බර් 30 වැනිදාට පෙර බදු ගෙවීමට අපි අවසාන දිනයක් ලබා දී තිබෙනවා. එම කාලය තුළ බදු ගෙවීමට ජනතාව කටයුතු කරාවි. ජනතාව බදු ගෙවීමට කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් ගෙවන බදු මුදලින් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව ඔවුන්ට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා බදු ගෙවන්නන් බදු ගෙවීමෙන් වැළකී සිටියා.
ඒ වගේම ජනතා බදු මුදල් අපතේ නොයවා අපි ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවය සහ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය ඉතා සරල වුණා. පසුගිය ආණ්ඩුව නම් මේ සඳහා විශාල ජනතා බදු මුදල් වැය කරන්න තිබුණා. එසේම විවිධ අමාත්‍යාංශවලට අයත් ආයතන රැසක් පෞද්ගලික කුලී ගොඩනැඟිලිවල පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා ආණ්ඩුව විශාල මුදලක් කුලී ලෙස ගෙවා තිබෙනවා.