Home » පුවත්පත් අලෙවි නියෝජිතයන් දෙපොළ නිවෙසක් පිරිනමයි
නැසීගිය පියවරුන්ට පින් පතා

පුවත්පත් අලෙවි නියෝජිතයන් දෙපොළ නිවෙසක් පිරිනමයි

ආබාධිත පවුලේ ඇවෑමෙන් නිවෙසේ අයිතිය පන්සලට

by mahesh
December 6, 2024 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

නාගස්හන්දිය සහ පනාපිටිය පුවත්පත් අලෙවි නියෝජිතවරුන් දෙදෙනා එක්ව නිවෙසක් නොමැතිව අසරණව සිටි ආබාධිත පවුලකට නිවෙසක් පරිත්‍යාග කිරීමේ උතුම් පින්කමක් පසුගියදා (3) සිදු කර තිබේ.

පනාපිටිය, රන්නුංගල ප්‍රදේශයේ ඉදිවූ ජල විදුලි පහසුකම් සහිත එම නිවෙස මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ භාර දීම සිදු විය. ඒ අනුව, පනාපිටිය පුවත්පත් අලෙවි නියෝජිතවරිය වන නාලනී කල්පගේ මහත්මිය සහ නාගස්හන්දිය පුවත්පත් අලෙවි නියෝජිත කේන් පෙරේරා මහතාගේ නැසීගිය පියවරුන් දෙපොළ වන කුලසේන ජයසේකර පියාණන් සහ කල්පගේ හේමපාල පෙරේරා පියාණන්ට පිං පිණිස, සිය දෙපොළගේ පුතනුවන් වන නිලුපුල් කෝෂිත පෙරේරා පුතුගේ 18 වැනි උපන්දිනය නිමිත්තෙන් මෙම නිවෙස සඟසතු කොට දිමුතු සම්පත් මහතා වෙත භාරදෙනු ලැබීය.

මෙම ආබාධිත පවුලේ අයවලුන්ගේ ඇවෑමෙන් පසු එකී නිවෙස සඟ සතු වන ආකාරයෙන් පූජා කර ඇත. පානදුර, බෞද්ධාශ්‍රම විහාරාධිපති අරුක්ගොඩ මහින්ද ස්වාමීන්වහන්සේ විසින් නාගස්හන්දිය පුවත්පත් අලෙවි නියෝජිත කේන් පෙරේරා මහතාගෙන් කළ ඉල්ලීමක් පරිදි කේන් පෙරේරා මහතා කැපවීමෙන් ඉතා ඕනෑකමින් සොයා බලමින් කිසිදු අඩුපාඩුවක් නොවන පරිදි සෝමවතී ජයසේකර මෑණියන් ද සම්බන්ධ කර ගනිමින් ඉඩමක් මිලදීගෙන ජල විදුලිය සහිත මෙම අංග සම්පූර්ණ නිවෙස ඉදිකර සඟ සතුකොට පූජා කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT