Monday, May 5, 2025
Home » කෝටිපති ව්‍යාපාරිකයා ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරී
පෞද්ගලික ආරක්ෂකයකු ඇදගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම:

කෝටිපති ව්‍යාපාරිකයා ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරී

by mahesh
December 6, 2024 1:00 am 0 comment

වාරණ - ආනන්ද ඉ. ජයකොඩි

පෞද්ගලික ආයතනයක ආරක්ෂකයෙකු බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ඉතා අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධව රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකාර කෝටිපති ව්‍යාපාරිකයෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (04) පස්වරුවේ කොන්දේසි සහිත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කළේය.

නිට්ටඹුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන නිහාල් වීරසිංහ නමැත්තෙකුට එසේ ඇප නියම කෙරිණි.

රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයට පුද්ගලයින් දෙදෙනකු අත්සන් කළ යුතු බවට ද නියෝග කෙරිණි.

නිට්ටඹුව නගරයේ පෞද්ගලික ආයතනයක කසල පිලිස්සීමේ සිද්ධියක් මූලික කර ගෙන එහි සේවයේ නියුතුව සිට ආරක්ෂකයෙකු බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ඉතා අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

බන්ධනාගාර නිලධාරීන් භාරයේ සැකකරු අධිකරණය ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ නීතිඥ ඇම්.කේ. ගුණසිංහ මහතා කරුණු දක්වමින් සැකකරු දින කිහිපයක්ම රිමාන්ඩ් භාරයේ රඳවා සිටි බව පවසා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උදය කුමාර මහතා කරුණු දක්වමින් තුවාලකරු වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ලබා දීමට සලකා බලන මෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරුට ඇප නියම කෙරිණි.

මෙම නඩුව නැවත කැඳවීම 2025.06.04 වැනිදාට කල් තැබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT