Monday, May 5, 2025
Home » අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ඉලක්කයක්

අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ඉලක්කයක්

by chanaka
December 7, 2024 11:35 am 0 comment

ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර ඒ සඳහා සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළේය.

ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩිකර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.

දිළිඳු බව තුරන් කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මීට දශක දෙකකට පෙර ඉදිකිරීම් අමාත්‍යාංශයක් පැවතුණු බව සිහිපත් කළේය. මේ වන විට සෑම අමාත්‍යාංශයකින්ම සිදුකරන්නේද ඉදිකිරීම් පමණක් බවද කියා සිටියේය.

පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හා විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවලදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා සිදුකර නොමැති බවත් සිදුකර තිබෙන්නේ ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා සාකච්ඡා පමණක් බවත් ජනාධිපතිවරයා අනාවරණය කළේය.

කම්කරු අමාත්‍යාංශයට විශාල ගොඩනැඟිලි දෙකක් තිබෙන නමුත් තවමත් පෝලිම්වල අඩුවක් දකින්නට නැති බවත් ඒ සඳහා විසඳුම් ලබාදීමට නම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT