Home » සහල් මිල ගැන ජනපති ගත් තීරණය

සහල් මිල ගැන ජනපති ගත් තීරණය

by chanaka
December 7, 2024 8:57 pm 0 comment

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදීය.

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දී ඇත.

අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට අවධාරණය කර ඇත.

ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබේ.

නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.

සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.

ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි

සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.

කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද මෙහිදී පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලේන්තිරාජා මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මලරමති ගංගාතරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.කේ. වාසල, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යු. පින්නලන්ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ඒ.එල්. චන්දික යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT