යටියන්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, ගනේකන්ද රජමහා විහාරය,හොළොම්බුව ස්ත්‍රීපුර ගල්ලෙන් රජමහා විහාරය සහ මත්තමගොඩ ශ්‍රී වාලුකාරාමය යන විහාරත්‍රයාධිපති ,ආයුර්වේද වෛද්‍ය ,අතිගෞරවණීය පරදෙණියේ චන්දරතන ලොකු හාමුදුරුවන් වහන්සේ ඊයේ (06) සදහටම දැයෙන් සමුගත් සේක.
1956 වසරේ නොවැම්බර් මස 18 දින පරදෙණිය ග්‍රාමයේදී මුදලිගේ දොන් විල්බට් සහ වේලාතන්ත්‍රිගේ පුංචිහාමිනේ බොතේජු යන දම්පතීන්ට දාව මුදලිගේ දොන් ගාමිණී චන්ද්‍රපාල නමින් මෙලොව එළිය දුටු උන්වහන්සේ අටවන ශ්‍රේණියේදී පාසල් අධ්‍යාපනය නිමා කරමින් 1973 මැයි මස පස්වන දින අතිපූජ්‍ය රබ්බිඩිගල ධම්මරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාරීත්වයෙන් ගනේකන්ද රජමහා විහාරයේදී පැවිදි දිවියට පත් වූ සේක.
අතිගරු උස්සාපිටියේ සුමන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ තෙරවරුන් යටතේ ප්‍රාචීන භාෂාවන් සහ ශ්‍රමණ බ්‍රහ්මචර්‍යා ප්‍රගුණ කළ උන්වහන්සේ ස්වඋත්සාහයෙන්ම ආයුර්වේද වෙදකම ප්‍රගුණ කළ අතර පසුව පීනස් රෝගය ඇතුළු සර්වාංග වෙදකම ප්‍රගුණ කරමින් ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාවට සුවසෙත උදාකරන්නට සමත් වූහ.
උන්වහන්සේ විනාශයට පත්වෙමින් තිබූ ගනේකන්ද රජමහා විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කරන්නට විශාල වෙහෙසක් දැරූ අතර විහාරත්‍රයක විහාරාධිපතිව එම විහාරස්ථානයන් නගාසිටුවන්නට අනගි මෙහෙයක් ඉටුකළහ. එමෙන්ම කිසිදු ජාතිභේදයකින් තොරව ආගමික සහජීවනයේ දෑත් දිගුකළ උන්වහන්සේ ප්‍රදේශයේ ඉස්ලාම් ජනතාව සමඟ දැඩි සහෝදර බැම්මෙන් යුතුව කටයුතු කළ අතර ආගමික සහජීවනයට පාලමක් වන්නට හිමියන්ට හැකිවිය. මෙලෙසින් මත්තමගොඩ ප්‍රදේශයට යටියන්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයට විශාල සේවයක් කළ ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේ අද මෙලෙසින් දැයෙන් සමුගත්හ. අතිපූජ්‍ය පරදෙණියේ චන්දරතන ලොකු හාමුදුරුවන් වහන්සේට උතුම් වූ නිර්වාණයෙන් සැනැහෙන්නට හැකිවෙත්වා’යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු .
යටියන්තොට විශේෂ සමන් එස්. රත්නායක සහ කොටියාකුඹුර සමූහ