Sunday, May 11, 2025
Home » වගා හානි සතුන් පාලනයට නව ක්‍රමවේදයක්

වගා හානි සතුන් පාලනයට නව ක්‍රමවේදයක්

by sachintha
December 9, 2024 12:56 am 0 comment

රිළවුන්, වනඅලින් සහ භවභෝගවලට හානි කරන සතුන් පාලනය සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. ගොවි ජනතාවගේ අස්වනුවලට වන සතුන්ගෙන් වන හානි වළක්වා ගැනීම සඳහා, මෙතෙක් පැවති රජයන් ගත් පියවර සාර්ථක විසඳුම් නොවූ බව ද ඇමැතිවරයා පැවැසීය. මේ වන විට සකස් කර ඇති, නව කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳ වර්තමාන තත්ත්වය හා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේය.

ගොවි ජනතාවට ඍජුවම බලපාන කරුණු පිළිබඳ ගතහැකි කෙටිකාලීන විසඳුම් සම්න්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එමෙන්ම මේ වන තෙක් ගෙන ඇති පියවරවල ප්‍රගතිය ද මෙම සාකච්ඡාවේදී සලකා බලන ලදී. මේ වන විට හදිසි ආපදා තත්ත්වය හමුවේ ගොවි ජනතාවගේ බවබෝගවලට සිදුව ඇති හානි සහ වාරි නිර්මිතයන්ට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට ක්ෂණික පියවර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු සිදු කර ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය. මෙහිදී කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුව සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයන් පවත්වාගෙන යමින් කෘෂි ගැටලුවලට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණි.මේ අතර අමාත්‍ය ලාල්කාන්ත මහතා මහනුවර දී ඊයේ (08) පැවැසුවේ වන සතුන් ගෙන් වගාවට සිදුවන හානි අවම කිරීම සඳහා ප්‍රශ්නයෙන් පීඩා විඳින ගොවි ජනතාව ද කොටස්කරුවන් කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත වෙනම කාර්යාංශයක් මඟින් විශේෂ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවය. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජනතාව, විද්වතුන් මෙන්ම පරිසර සංවිධාන ද ඒකාබද්ධ කර ගන්නේ යැයි ද ඒ මහතා කීය.

බුද්ධිකා ඉඹුලාන, අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT