Home » රටෙන් පිටට ගෙන ගිය මුදල් නැවත ගේන්න සහාය දෙනවා

රටෙන් පිටට ගෙන ගිය මුදල් නැවත ගේන්න සහාය දෙනවා

-දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු

by sachintha
December 9, 2024 12:57 am 0 comment

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය දෙන බවත්, ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට තාක්ෂණික සහාය ලබාදීමට ද සූදානම් බවත් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැ‍ඟීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමෙරිකානු රජය සූදානම් බව ද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (07) පැවැති හමුවේදී මේ කරුණු අනාවරණය විය.

දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහි දී අමෙරිකානු රජයේ ඇගයීමට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය ඍජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්තිය අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් (Julie Chung) USAID ආසියාවේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් (Anjali Kaur), එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් (Robert Kaproth), USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ (Gabriel Grau) ගෙබ්බ්‍රියල් ග්‍රාව්, දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ෂෝන් ග්‍රේ (Shawn Gray) මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT