Home » ග්‍රාම ලේකම් කාර්යාලය ලෙස යොදාගන්නා වසා දැමූ කනිටු විදුහල් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කර දෙන්න

ග්‍රාම ලේකම් කාර්යාලය ලෙස යොදාගන්නා වසා දැමූ කනිටු විදුහල් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කර දෙන්න

by sachintha
December 9, 2024 1:14 am 0 comment

වලල්ලාවිට, ගුලවිට උතුර වසා දැමූ කනිටු විදුහලේ ගොඩනැඟිල්ල ග්‍රාම ලේකම් කාර්යාලය ලෙස යොදා ගත්තද දිගු කලකින් නිසි නඩත්තුවක් නැතිව රුපියල් ලක්ෂ ගණනක් වටිනා දේපොළ විනාශ වෙමින් ගොඩනැඟිල්ල කඩා වැටෙමින් තිබේ.

රුපියල් ලක්ෂ ගණනක් වටිනා පන්ති කාමර ගොඩනැඟිල්ල පාසල වැසී යාමෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කළුතර කොට්ඨාසය මඟින් ආදර්ශ කෘෂි වගා ව්‍යාපෘතියක් සඳහා යොදාගනිමින් වල් බිහිව තිබූ පාසල් වත්ත සරුසාර වගා බිමක් බවට පත්කර ප්‍රදේශයටත්, රටටත් ආදර්ශයක් ලබා දෙමින් සුවිශාල සේවයක් සලසනු ලැබීය.

ඉන් අනතුරුව මෙම ගොඩනැඟිල්ල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රයෝජනයට ගනිමින් ග්‍රාම ලේකම් කාර්යාලය බවට පත් කරගනු ලැබීය. ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, පවුල් සෞඛ්‍යසේවා නිලධාරි, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරී ඇතුළු ප්‍රදේශයේ රාජකාරි නියුතුවල නියුතු රාජ්‍ය නිලධාරින්ගේ නිල නිවෙස ලෙසත්, සුබසෙත පදනමේ ප්‍රජා ශාලාව ලෙසත් යොදගනිමින් තිබිය දී දිගුකලකින් කිසිදු නඩත්තුවක් නොකිරීමෙන් ගොඩනැඟිල්ල ක්‍රමයෙන් ගරා වැටී තිබෙන බවත්, මේ වනවිට ගොඩනැඟිල්ලේ එක් පන්ති කාමරයක් ඉතිරිවෙමින් සෙසු කොටස් කඩා වැටී ගොඩනැඟිල්ල ස්වභාවික මරණයකට ඉඩ තබා සියලු නිලධාරින්, බලධාරින් නිහඬ වෙමින් සිටින බව දැකගත හැකිය.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්වරයා භාරයෙන් රජය සතු මෙම දේපොළ විනාශ වූ පසු ප්‍රදේශයේ රාජකාරි කරන රාජ්‍ය නිලධාරින්ට වෙනත් කුලී ගොඩනැඟිලි සොයා ගත යුතුවේ. රාජ්‍ය දේපොළ මෙසේ විනාශවීමට ඉඩදී රාජ්‍ය නිලධාරින් නිහඬ වීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව විමතිය පළ කරති. ප්‍රදේශයට ඇති එකම රාජ්‍ය පොදු දේපොළද මෙම ගොඩනැඟිල්ල බව ගුලවිට ජනතාව පවසති. එය නටඹුන්ව යෑමට පෙර ප්‍රතිසංස්කරණය කරන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

මීගහතැන්න – එස්. පොද්දෙණිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT