Home » ජ්‍යෙෂ්ඨයෝ වේලාසනින්ම ක්‍රීඩාගාරයේ ධනංජය-කුසල් ජය සොයා සටනක

ජ්‍යෙෂ්ඨයෝ වේලාසනින්ම ක්‍රීඩාගාරයේ ධනංජය-කුසල් ජය සොයා සටනක

-ශ්‍රී ලංකාව ඉලක්කයට ලකුණු 143ක් පසුපසින්

by sachintha
December 9, 2024 1:02 am 0 comment

දකුණු අප්‍රිකා පළමු ඉනිම – 358 (ඕවර 103.4) කයිල් විරෙයින් නොදැවී 105, රයන් රිකෙල්ටන් 101, ටෙම්බා බවුමා 78 (ළහිරු කුමාර 79/4, අසිත ප්‍රනාන්දු 102/3, විශ්ව ප්‍රනාන්දු 65/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම – 328 (ඕවර 99.2) පැතුම් නිශ්ශංක 89, කමිඳු මෙන්ඩිස් 48 (ඩැන් පැටර්සන් 71/5, කේෂව් මහරාජ් 65/2, මාර්කෝ ජැන්සෙන් 100/2)

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම – 317 (ඕවර 86) ටෙම්බා බවුමා 66,ඒඩ්න් මාක්‍රම් 55 (ප්‍රභාත් ජයසූරිය 129/5, විශ්ව ප්‍රනාන්දු 47/2)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

පැතුම් නිශ්ශංක ඇ.විරෙයින් ප.පැටර්සන් 18

දිමුත් කරුණාරත්න ක.මු.ක. ප.රබාඩා 1

දිනේෂ් චන්දිමාල් ක.මු.ක. ප.පැටර්සන් 29

ඇන්ජලෝ මැතිව්ස් ප.මහරාජ් 32

කමිඳු මෙන්ඩිස් ඇ.විරෙයින් ප.මහරාජ් 35

ධනංජය ද සිල්වා නොදැවී 39

කුසල් මෙන්ඩිස් නොදැවී 39

අතිරේක 12

එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 52) 205

කඩුලු බිඳ වැටීම: 1-10, 2-47, 3-64,

4-117, 5-122

පන්දු යැවීම: රබාඩා 13-2-44-1,

ජැන්සෙන් 10-1-54-0, මහරාජ් 16-2-62-2,

පැටර්සන් 12-3-33-2, මාක්‍රම් 1-0-6-0.

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් වේලාසනින්ම යළි ක්‍රීඩාගාරයේ අසුන් ගනිදී ලකුණු 348ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සටනක නිරත වීමට නායක ධනංජය ද සිල්වාට සහ කුසල් මෙන්ඩිස්ට සිදුව තිබිණි.

තරගයේ ඊයේ සිව්වැනි දිනයට නතර කරන ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කර සිටි අතර, ඉලක්කයට තවත් ලකුණු 143ක් පසුපසින් සිටී.

කණ්ඩායමේ සිටින නමගිය අවසන් පිතිකරුවන් දෙදෙනා වන ධනජය සහ කුසල් ලකුණු 39ක් බැගින් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට ගොඩනැඟී තිබූ නොබිඳුණු සබඳතාව ලකුණු 83කි.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 10ක් වෙද්දී මේ සංචාරය පුරා ලකුණු අතරට පිවිසීමට අසමත් වූ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල ලෙස කගීසෝ රබාඩාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට රැස් කර තිබුණේ එක් ලකුණක් පමණි. නවසීලන්තයට එරෙහිව පැවති තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කළ දිමුත් අනතුරුව ක්‍රීඩා කළ ඉනිම් 5දී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව 46කි. මේ සංචාරයේ පළමු තරගයේදී ලකුණු 2ක් සහ 4කට දැවී ගිය ඔහු මේ තරගයේ පළමු ඉනිමේදී රැස් කළ ලකුණු 20ක් පමණි.

පළමු ඉනිමේ අර්ධ ශතකයක් රැස් කළ පැතුම් නිශ්ශංක ඊයේ ලකුණු 18කට දවා ගැනීමට සමත් වූ ඩෑන් පැටර්සන් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 29කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත්තේය. කණ්ඩායමේ සිටින ජොෂ්ඨතම ක්‍රීඩකයා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 32කට දැවී ගියේ කේෂව් මහරාජ්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. මැතිව්ස් දැවී යන විට ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 117ක් වූ අතර, යළි ක්‍රියාත්මක වූ මහරාජ් තවත් ලකුණු 5ක් එක්වෙද්දී කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 35කින් නිමා කළේය.

ලකුණු 191කට කඩුලු 3ක් දැවී තිබියදී ඊයේ පිටියට පිවිසි දකුණු අප්‍රිකාව තවත් ලකුණු 126ක් එක් කර ගත්තේය. ලකුණු 48ක් ලබා සිටි ටෙම්බා බවුමා 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසු ජයසූරියගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට ලකුණු 66ක් රැස් කර සිටියේය. බවුමාගේ දැවී යෑමෙන් පසු සෙසු පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නනෝ අවසන් කඩුලු 5 ලකුණු 49ක් තුළ දවා ගත්හ.

සිය ටෙස්ට් දිවියේ ඉනිමක කඩුලු 5ක් බිඳ දැමූ 10 වැනි අවස්ථාව සටහන් කර ගැනීමට ප්‍රභාත් ජයසූරිය ඊයේ සමත් වූ අතර, ඔහු ලංකාවෙන් පිටතදී කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව මෙයයි. මේ සමඟ ප්‍රභාත් ටෙස්ට් කඩුලු 107ක් දවාගෙන ඇති අතර, මුල් ටෙස්ට් තරග 18දී පන්දු යවන්නකු දවාගත් දෙවැනි වැඩිම කඩුලු සංඛ්‍යාව එයයි. ඔහුට ඉදිරියෙන් එංගලන්තයේ ජෝර්ජ් ලොමන් සහ සිඩ්නි බාන්ස් සමඟ යසීර් ෂා (පාකිස්තානය) කඩුලු 112ක් බැගින් දවාගෙන සිටිති. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී පැතුම් නිශ්ශංක ලකුණු 89ක් රැස් කළ අතර, ඇන්ජලෝ මැතිව්ස් (44) ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කිරීමට සමත් විය. ඔහු ලකුණු 34ක් රැස් කිරීමත් සමඟ මේ සීමාවට පිවිසි අතර, ඔහුට ඉදිරියෙන් සිටින්නේ කුමාර් සංගක්කාර (12400) සහ මහේල ජයවර්ධන (11814) පමණි. මේ වසර තුළ ජගත් ටෙස්ට් පිටියේ ලකුණු 1000 පසු 5 වැනි පිතිකරු බවට ද කමිඳු පත් විය.

අද තරගයේ අවසන් දිනයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT