Home » වසර 37කට පසු ශ්‍රී ලංකාවට ආසියානු බොක්සිං පදක්කමක්

වසර 37කට පසු ශ්‍රී ලංකාවට ආසියානු බොක්සිං පදක්කමක්

by sachintha
December 9, 2024 1:04 am 0 comment

වසර 37කට පසු ආසියානු බොක්සිං වළල්ලේ පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩකයා ලෙස උමයංග මිහිරාන් ඊයේ වාර්තා පොත අලුත් කිරීමට සමත් විය.

තායිලන්තයේ පැවති ආසියානු බොක්සිං සම්මේලනයේ එලයිට් බොක්සිං ශුරතාවලියේ කිලෝග්‍රෑම් 51ක බර පන්තිය නියෝජනය කළ මේ 21 හැවිරිදි ක්‍රීඩකයා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් එසේ අලුත් කරනු ලැබුවේ 1987 වසරේ කුවේට් රාජ්‍යයේදී පී.එල්.ජේ. රත්නායක කිලෝග්‍රෑම් 54 බර පන්තියෙන් අත්කර ගත් ලෝකඩ පදක්කමේ වාර්තාවය.

උස්බෙකිස්තානයේ අසිල්බෙක් ජලිලොව්ට එරෙහිව රිදී පදක්කමේ බලාපොරොත්තුවෙන් කිලෝග්‍රෑම් 51 බර පන්තියේ අවසන් පූර්ව තරගයට ඊයේ තරග කළ මිහිරංග එහිදී පරාජයට පත්වුවද ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමෙනි. මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයෙන් ජාතික බොක්සිං වළල්ලට සේන්දු වූ උමයංග මිහිරාන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු වන අතර, වසර 2028 ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව වන ඔහු ශ්‍රී ලංකා පොලිස් බොක්සිං සමාජය නියෝජනය කරයි. රටවල් 21ක තරගකරුවන් සහභාගි වූ ආසියානු එලයිට් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 13 දෙනකු සහභාගි වූහ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT