ශ්‍රී ලංකා බාස්කට්බෝල් සංගමය මෙහෙයවූ සමස්ත ලංකා 15න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාස්කට්බෝල් තරගාවලියේ සිදුවූ දුර්වල විනිශ්චය හේතුවෙන් මවුපියන් ක්‍රීඩා පිටියට කඩා වැදී යුද පිටියක් බවට පත්වූ අතර, පසුව හමුදා රැකවරණ මැද තරගාවලිය නිමා කිරීමට සිදුව ඇත.
රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවති මේ තරගාවලියේ විනිශ්චය කටයුතු වෙනුවෙන් බාස්කට්බෝල් විනිසුරු විභාග සමත් නොවූ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිටින ක්‍රීඩා නිලධාරීන් පිරිසක් යොදා ගැනීම මේ ගැටුම්කාරී තත්ත්වයට ප්‍රධාන හේතුව බව මවුපියෝ පිරිසක් පෙන්වා දෙති. මෙවැනි ප්‍රධානතම ‘ඒ’ කාණ්ඩයේ බාස්කට්බෝල් තරගාවලියකට ජාත්‍යන්තර බාස්කට්බෝල් සංගමයේ අනුමත සුදුසුකම් ඇති විනිසුරුවන් යොදාගත යුතු වුවද, මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් ක්‍රීඩා නිලධාරීන් යොදා ගැනීම අසාධාරණ ක්‍රියාවක් බව සඳහන් වේ.
නුගේගොඩ සාන්ත ජෝශප් හා සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අතර තරගයේ දුර්වල විනිශ්චයන් කිහිපයක්ම සිදුව ඇති අතර, එහිදී මවුපියන් ක්‍රීඩා පිටියට කඩාවැදී විනිසුරුවන්ට හා පුහුණුකරුවන්ට පහරදීමට උත්සහා දරා ඇත. එම සිද්ධිය සමතයකට පත්වීමෙන් අනතුරුව පැවති මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අතර තරගයේදී ක්‍රීඩිකාවක් තවත් ක්‍රීඩිකාවකගේ ඇඟේ වැදී බිම ඇද වැටීමත් සමඟ උරණ වූ මවුපියන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදී පහරදීමට ගත් උත්සාහයක් ද වාර්තා විය.
මේ තත්ත්වය මැඬපැවැත්වීම උදෙසා යුද හමුදා නිලධාරීන්ගේ සහය පතා ඇති අතර, සියලු මවුපියන් හා තරග නරඹන්නන් ක්‍රීඩාංගණයෙන් ඉවත්කොට තරග නිමා කිරීමට කටයුතු යෙදවිණි. එම හමුදා නිලධාරීන් තරගාවලිය සංවිධාන කළේ කවුරුන්ද යන්න විමසීමේදී කිසිදු වගකිවයුත්තකු එහි නොසිටි බව වාර්තා විය. ඉදිරියේදී මේ ආකාරයෙන් පාසල් බාස්කට්බෝල් තරග සංවිධාන කිරීම බරපතළ ජීවිත අවදානමක් ඇති කරවන්නක් බව ද මවුපියෝ පෙන්වා දෙති.
ප්‍රින්ස් ගුණසේකර