ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුවක් තෝරාපත් කරගැනීමට මේ මස 20 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට රග්බි නිසි බලධාරියා ලෙස කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. නිලවරණ කමිටුවක් පත් කර ගැනීම සඳහා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරනු ලැබුවේ ව්‍යවස්ථා සංශෝධන ගැටලුවෙන් දිග්ගැස්සුණු රග්බි ආයතනයේ අර්බුදය පසුගියදා අභියාචනාධිකරණයේදී සමථයකට පත්වීම හේතුවෙනි.
ඒ අනුව ක්‍රීඩා අධ්‍යක්ෂවරයා විසින් විශේෂ මහ සභා රැස්වීම කැඳවීම සම්බන්ධව සියලු රග්බි පළාත් සංගම්, පාසල් රග්බි සංගමය, රග්බි විනිසුරුවරුන්ගේ සහ තීරකවරුන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමය වෙත ලිඛිතව දැනුම්දී ඇති අතර, එම විශේෂ මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා රග්බි ආයතන ව්‍යවස්ථාවට අනුව සභාපතිවරයකුගෙන් සහ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත නිලවරණ කමිටුව පත් කරගැනීමට නියමිතය.
රග්බි නිලවරණයේ අර්බුදය අභියාචනාධිකරණය දක්වා ඇදී ගියේ නිලවරණයට පෙර විශේෂ මහ සභා රැස්වීමකදී රග්බි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරගැනීමටත්, ඒ අනුව නිලවරණය පැවැත්වීමටත් රග්බි ක්‍රීඩාවේ නිසි බලධාරියා මීට පෙර ගත් තීරණයට සියලු පළාත් රග්බි සංගම් විරෝධය පළ කළ බැවිනි. නව නිලධාරින් පත් කරගැනීම සඳහා නිලවරණය වහාම කැඳවීමට කටයුතු කරන බවට සහ නිලවරණයෙන් පත්වන නව නිලධාරී මණ්ඩලය ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට ලබන 2025 වසරේ ජනවාරි මස 28 වැනිදා හෝ ඊට පෙර විශේෂ මහසභා රැස්වීමක් පවත්වන බවට අභියාචනාධිකරණයේදී දෙපාර්ශ්වයෙන්ම එකඟතාව පළ වී තිබිණි.
ෆවුස් මොහොමඩ්