පුරන් වූ රටක් අස්වැද්දීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. පුරන්වූ රටක් අස්වැද්දීම සඳහා අලුතින් සිතන මිනිසුන් පොකුරු පිටින් අවශ්‍ය කාලයක් එළඹ තිබේ. ලෝකයේ බොහෝ රටවල් ඉදිරියට ගමන් කළේ සාම්ප්‍රදායිකව සිතන මිනිසුන් නිසා නොවේ. සම්ප්‍රාදායට පිටින් සිතා වැඩ කරන මිනිසුන් නිසාය. අද අප අත්‍යවශ්‍ය උපකරණ ලෙස සලකන සෑමදෙයක්ම නිර්මාණය කළේ එසේ සාමාන්‍ය රාමුවෙන් පිටත සිට සිතූ මිනිසුන් නිසාය.
අද අපේ රටේ සහල් පිළිබඳව ලොකු කතාබහක් ඇතිව තිබේ. සහල් මිල ඉහළ යාමට බලපානු ලබන ප්‍රධානම කරුණ බවට පත්ව තිබෙන්නේ වී වගාව සඳහා වූ වියදම් ඉහළ යාමය. බිත්තර වී කිලෝවක මිල අද වන විට රුපියල් දෙසිය පනහ සීමාව ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම අස්වැන්න නෙළා ගැනීමට පෙර සිටම සිදුවන අස්වැන්න හානිය නාස්තියද එයට තවත් මූලික කරුණක් බවට පත්ව තිබේ. එසේ එක තැනක සිරව තිබෙන කෘෂිකර්මාන්තයද වී වගාවද අලුත් මඟකට යොමු කිරීමට ගාලු පුරයේ අහංගම තරුණයකු තම අවධානය යොමු කළේ මීට අවුරුදු දහතුනකට පෙරය. ඒ කාර්ය සඳහා ඔහු සිත යොමු කිරීමට මූලික කරුණ වූයේ තමන්ගේ අලුත උපන් දියණියට වස විසෙන් තොර පෝෂණීය ආහාර වේලක් ලබා දීමේ පරමාර්ථයයි. එම තරුණයා නමින් එරංග කොඩිතුවක්කුය. ඔහු මූලික ලෙස අවධානය යොමු කළේ කාබනික වී වගාව සඳහාය. ඒ සඳහා එරංග යොදා ගනු ලැබුවේ විදේශීය දෙමුහුන් වී වර්ග නොව දේශීය වී වර්ගය. දේශීය වී වර්ග රෝපණය කවුරුත් කැමැති දෙයක් වුවද , කාබනික වගාවට ලෝකයේ පිළිගැනීමක් තිබුණද එවැනි වගාවක් නඩත්තු කිරීම අතිශය අපහසු කරුණකි. එහිදී ඇති වූ මූලික ගැටලුව වූයේ වල් පාලනය සඳහා ක්‍රමවේදයක් නොමැති වීමය. එනිසා මූලික ලෙසම කළ යුතු කරුණක් වූයේ මෙම තත්ත්වය පාලනය කිරීමය. එමෙන්ම බිත්තර වී නාස්තියද සැලකිය යුතු කරුණකි.
මේ ගැටලුව සඳහා මූලික විසඳුම ලෙස එරංග කොඩිතුවක්කු මහතා සොයා ගත් ක්‍රමය වූයේ බීජ වැපිරීම වෙනුවට බීජ සිටුවීමය. එහෙත් එම කාර්ය සඳහා බලපානු ලබන ප්‍රධාන ගැටලුවක් තිබුණි, එනම් ඒ සඳහා වූ පුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීම අපහසු වීම සහ ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වීමය. ඒ තත්ත්වය තුළ දීර්ඝ කාලීනව කළ අධ්‍යනයකින් පසු ඔහුට සංකල්පයක් පහළ විය. එනම් බිත්තර වී සිටුවන යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීම පිළිබඳ අදහසයි.ඒ අනුව මූලිකව ඔහු ප්‍රාථමික තත්ත්වයේ යන්ත්‍රයක් නිර්මාණය කළ අතර ඒ යන්ත්‍රය මඟින් බිත්තර වී සිටුවීම සිදු කළ හැකි වූ අතර ඉන්පසු එම යන්ත්‍රය තවදුරටත් වැඩි දියුණු කිරීමට එරංග කටයුතු කළේය. එහි ප්‍රතිඵලය වූයේ බිත්තර වී සහ කාබනික පොහොර යම් ප්‍රමාණ බැගින් පොළොව තුළට කාවැද්දවීමට හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමය.මෙම යන්ත්‍රය මඟින් වී වැපිරීම නිසා පළිබෝධ හානිය අවම වූ අතර වල් පැළෑටි හානිද පාලනය කිර ගැනීමට හැකියාව ලැබුණි.
බිත්තර වී රත්තරන් වටිනා මෙවැනි කාලයක බිත්තර වී ආරක්ෂා කර ගැනීම වඩාත් වැදගත්ය, සාමාන්‍ය ලෙස සිදු කරන වැපිරීමකදී බිත්තර වී කිලෝ සියයක් වැය වේ නම් මෙම යන්ත්‍රය මඟින් වැපිරීම් සිදු කිරීමට වැය වෙන්නේ කිලෝ හැටක ප්‍රමාණයකි. එය විශාල පිරිමැස්මකි, මෙවැනි කාලයක සුවිශාල ලාභයකි. බිත්තර වී පිරිමැස්ම, කුරලු උවදුරු දුරුවීම වැනි කටයුතු නිසා වී වගාව සඳහා අලුත් ප්‍රවේශයක් සලසා ගැනීමට හැකියාව තිබේ.
ඔහු නිෂ්පාදනය කළ වී වැපිරීමේ යන්ත්‍රය මේවන විට රට පුරා ගොවීන් සියයකට වැඩි පිරිසක් මිලදී ගෙන තිබෙන අතර මෙම යන්ත්‍රයක් රුපියල් තිස්පන්දහසක මිලකට තීරණය කර තිබේ.
වෙනම ඇළ මං තැනීමක් මෙම යන්ත්‍රය නිසා අවශ්‍ය නොවේ. වෙනම පෝරු ගෑමක්ද අවශ්‍ය වන්නේ නැත. එරංග කොඩිතුවක්කු මහතා සඳහන් කරන ලෙස මෙම නව යන්ත්‍රය තවදුරටත් නවීකරණය කිරීම සඳහා කටයුතු කරමින් තිබේ.ඔහුගේ මීළඟ සැලසුම බවට පත්ව තිබෙන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් බවට මෙය පත්කර ගැනීමය. ඒ සඳහාද අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය වෙමින් තිබේ.
දකුණු පළාත් නව නිපැයුම් ලෙස රන් සම්මානයක් හිමිව තිබේ. තවද අගැයීම රැසකට මෙම නිර්මාණය ලක්වීමට නියමිත අතර මේ ආකාරයේ නව නිර්මාණකරුවන්ගේ හැකියාවන් තවදුරටත් මුවහත් කිරීම සඳහා කටයුතු කිරීම සියලු බලධාරීන්ගේ වගකීමකි, යුතුකමකි.
උදිත ගුණවර්ධන