තියුණු ආයුධ රැගෙන, සොරාගත් යතුරුපැදිවලින් ගොස් සම්බාහන ආයතනවලට කඩා වැදී එහි රැඳී සිටින තරුණියන්ගේ දේපොළ කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
ඒ අතර යතුරුපැදි සොරාගෙන ඒ සඳහා ලබා දුන් ‘සේදවත්තේ ජම්බෝ’ නමැත්තාද වන බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සේදවත්තේ කසුන්’ නමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු බව ද පොලීසිය පවසයි.
සැකකරුවන් එලෙස කොල්ලකෑමට යොදාගෙන තිබූ ඉකුත් සැප්තැම්බර් මාසයේදී කොස්ගම හා වාද්දුව පොලිස් වසම්වලින් සොරා ගත් යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
ඝාතන සිද්ධීන් රැසකට යොදාගත් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ තොගයක් සේදවත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සුඛෝපභෝගී නිෙවසක් තුළ සඟවා තිබෙන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (38723) රංජිත් නිලධාරියාට ලද තොරතුරකට අනුව මීට දින කීපයකට ඉහතදී එම නිෙවස වටලා යතුරුපැදි තුනක්, ත්‍රිරෝද රථ තුනක් සමඟ එම ජාවාරම්කරුගේ සමීපතමයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
එම අවස්ථාවේ සේදවත්තේ කසුන් නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙත ලබා දුන් දුරකතන සංවාදයකට සවන් දුන් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස තොටළඟ මෝදර උයන නිවාස සංකීර්ණයේ දී එම කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් මාස කීපය තුළ තලංගම, පෑලියගොඩ සහ මිරිහාන යන පොලිස් වසම්වල සම්බාහන ආයතනවලට යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ රැගෙන කඩා වැදී එහි රැඳී සිටි තරුණියන්ගේ දේපොළ කොල්ලකෑම් සිදු කළේ තවත් පුද්ගලයෙකු හා එක්ව බවත් ඒ සඳහා සේදවත්තේ ජම්බෝ නමැත්තා හා තවත් පුද්ගලයෙක් යතුරුපැදි සොරාගෙන ලබා දුන් බවත්, අනාවරණය කළ බව පොලීසිය පවසයි.
ඒ අනුව එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඒ මොහොතේම මෙහෙයුමක් ක්‍රියාත්මක කළද සොරා ගත් යතුරුපැදි සන්තකයේ තබා ගත් පුද්ගලයා ප්‍රදේශය හැර පලා ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි. මෙම පාතාල කල්ලි සාමාජිකයන් විසින් මිරිහාන ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩා වැදී තරුණියකට තියුණු ආයුධයෙන් පහර දී බරපතළ තුවාල සිදුකර දේපළ කොල්ලකෑම හේතුවෙන් ඇයගේ හිසට මැහුම් 17ක් යෙදීමට සිදුව තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ
නුගේගොඩ – සමීර අබේසිංහ