‘ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව’ ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ අගමැති ලේකම් ඇතුළු අනෙකුත් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව එම කමිටුව ස්ථාපිත කළ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය. ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීම රජයේ ප්‍රධාන අරමුණක් බව හෙතෙම කීවේය.
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර ඇති අතර, රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලු ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම, අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යෑම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියාවලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගිත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඒ අතුරින් ප්‍රමුඛ කාර්යයන් වශයෙන් හඳුනාගනු ලැබ ඇති බව ඇමැතිවරයා කියා සිටියේය. එම කාර්යයන් සඳහා ඉහළ අවධානයක් යොමු කිරීම මෙන්ම ආයතනික සම්බන්ධීකරණය කාර්යක්ෂම කිරීම සඳහා ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතා සහ ආරක්ෂිතතා වැඩසටහන ජනාධිපති කාර්යාලය මඟින් සම්බන්ධීකරණය කිරීමට තීරණය කරනු ලැබ ඇති බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා සම්බන්ධිත සියලු ආයතනයන්හි සහභාගිත්වය සහිත, දත්ත හා තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක විශ්ලේෂණයන් තුළින් ප්‍රතිපත්තිමය මඟපෙන්වීම ලබා දීම සඳහා අනුමැතිය හිමි වූ බව ඒ මහතා පැවසීය.
නුවන් කොඩිකාර